“දුවේ, ඔයා දැන් ලොකු ළමයෙක්…” ගැහැනු දරුවෙක් සිටින ඕනෑම නිවසක, කාලයත් සමග ඇසෙන සුපුරුදු, සෙනෙහෙබර වචන පෙළක්. එයින් සනිටුහන් වන්නේ, ඇගේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භයයි. නමුත් අද Seylan News අප කතා කරන්නේ, වැඩිවියට පත්වීමෙන් එහාට ගිය, සෑම කාන්තාවකගේම ජීවිතයේ අනිවාර්ය කොටසක් වන “මාසික ඔසප් වීම” පිළිබඳවයි.
මෙය බොහෝ විට නිහඬව විඳ දරාගන්නා මාතෘකාවක් වුවත්, ඒ පිළිබඳව විවෘතව කතා කිරීම සහ නිවැරදිව දැනුවත් වීම ඉතා වැදගත්. ඔසප් වීම යනු ස්වභාවික ක්‍රියාවලියක්. එහෙත්, ඒ දින කිහිපය තුළ ඇතිවන ශාරීරික සහ මානසික අපහසුතා නිසා බොහෝ දෙනෙකුට එය වෙහෙසකර අත්දැකීමක් වනවා.
ශාරීරික අපහසුතා, නමුත් නොසැලෙන ශක්තිය
සෑම කාන්තාවකටම ඔසප් සමයේ ඇතිවන අපහසුතා එකිනෙකට වෙනස්. සමහරුන්ට උදරයේ වේදනාව, කොන්දේ කැක්කුම, හිසරදය වැනි අපහසුතා දැඩිව දැනෙන අතර, තවත් සමහරුන්ට මේවා එතරම් බල නොපානවා විය හැකියි. ඉක්මනින් කේන්ති යාම, මනෝභාවයේ වෙනස්වීම් (mood swings) වැනි දේද මේ දිනවල සුලබයි.
නමුත් පුදුම සහගතම දේ නම්, මේ සියලු අපහසුතා මැද, ඇය කිසිදිනක තම යුතුකම් සහ වගකීම් පැහැර නොහැරීමයි. ගෘහණියක්, මවක්, රැකියාවක නියුතු වෘත්තිකයෙක් හෝ ශිෂ්‍යාවක් ලෙස ඇය සියල්ල දරාගෙන, සුපුරුදු පරිදි තම දෛනික කටයුතුවල නිරත වෙනවා. ඒ ශක්තිය ඇත්තෙන්ම අමිලයි.
වේදනාව සහ අපහසුතා කළමනාකරණයට සරල උපදෙස්
කෙසේ වෙතත්, යම් යම් සරල ක්‍රමවේද අනුගමනය කිරීමෙන්, මේ වේදනාවට සහ අපහසුතාවයට සැලකිය යුතු සහනයක් ලබා ගන්නට පුළුවන්.
* ඔබේ චක්‍රය සටහන් කරගන්න – ඔබගේ ඔසප් චක්‍රය දින දර්ශනයක හෝ ජංගම දුරකථන යෙදවුමක (Mobile App) සටහන් කර ගැනීම ඉතා වැදගත්. එමගින් ඔබේ චක්‍රය විධිමත්දැයි දැන ගැනීමටත්, ඔසප් වීමට පෙර සූදානම් වීමටත් අවස්ථාව ලැබෙනවා.
* ආහාර සහ පාන ගැන සැලකිලිමත් වන්න
* ඔසප් වීම ආරම්භ වීමට දින කිහිපයකට පෙර සිට, කොත්තමල්ලි ස්වල්පයක් තම්බා එම ජලය පානය කිරීමෙන් වේදනාව බොහෝ දුරට පාලනය කර ගත හැකියි.
* අධික සීනි, තෙල් සහ උෂ්ණාධික ආහාරවලින් හැකිතාක් වළකින්න. මේවා වේදනාව සහ අපහසුතාවය වැඩි කිරීමට හේතු විය හැකියි.
* ඒ වෙනුවට, පලතුරු, එළවළු වැනි පෝෂණීය ආහාර වේලකට හුරු වන්න. දිනපතා ප්‍රමාණවත් තරම් ජලය සහ දියර වර්ග පානය කරන්න.
* සැහැල්ලු ඇඳුම් තෝරාගන්න – මේ දිනවලදී සනීපාරක්ෂක තුවා භාවිතය නිසා යෝනි මාර්ගය අවට උණුසුම් බවක් සහ තෙතමනයක් රැඳෙනවා. කපු මිශ්‍ර, සැහැල්ලු යට ඇඳුම් ඇඳීමෙන් එම තත්ත්වය පාලනය කර ගත හැකියි. එමෙන්ම, ශරීරයට පහසු, බුරුල් ඇඳුම් ඇඳීමෙන් ඔබට දැනෙන අපහසුතා අවම කර ගත හැකිය.
* පිරිසිදුකම අංක එක – පැය 2-4 කට වරක්වත් ඔබේ සනීපාරක්ෂක තුවා මාරු කිරීමට අමතක කරන්න එපා. දිනපතා ස්නානය කර ශරීරය පිරිසිදුව තබා ගැනීම, ආසාදනවලින් වැළකී සිටීමට අත්‍යවශ්‍යයි.
* මානසික සුවතාවය – ශාරීරික අපහසුතා මැද වුවත්, හැකිතාක් සතුටින් සහ සැහැල්ලුවෙන් සිටීමට උත්සාහ කරන්න. මනස ආතතියෙන් තොරව තබා ගැනීම, ශරීර සෞඛ්‍යයටත් ධනාත්මකව බලපානවා.
ජීවිතයේ සෑම අභියෝගයක්ම මෙන්ම, ඔසප් සමයේ අපහසුතා ද නිවැරදි කළමනාකරණයෙන් ජය ගත හැකියි. වැදගත්ම දේ, ඔබේ ශරීරයට ඇහුම්කන් දීම සහ ඔබට අවශ්‍ය විවේකය සහ සත්කාරය ලබා දීමයි.












