සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ උදාව සනිටුහන් කරමින්, දූ දරුවන්ට දේශීය සිරිත් විරිත් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කැලණිය විශ්ව නැණ පෙර පාසලේ අවුරුදු සැමරුම පසුගිය 10 වනදා උදෑසන උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා දරුවන් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මෙවර එළිමහන් ජන ක්‍රීඩා පැවැත්වීමෙන් වැළකී සිටීමට පෙර පාසල් පාලනාධිකාරිය කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඒ වෙනුවට දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුවපහසුව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින්, සියලුම සැමරුම් චාරිත්‍ර විධිවලට පමණක් සීමා විය.
කැලණිය දුම්රියපොළ පාර ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනය විසින් පවත්වාගෙන යනු ලබන විශ්ව නැණ පෙර පාසල මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවය විහාරාධිපති බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේගේ සහ උපදේශක කොටපොළ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පෙර පාසලේ විදුහල්පතිනි රැවිනි අවන්තිකා නවරත්නගේ සහ දේශානි තුෂාරා කුරේ, ප්‍රසංගිකා ලක්ෂානි යන ගුරුවරුන්ගේ අධීක්ෂණය සහ මගපෙන්වීමෙන් පැවැත්විණි.
දේශීය ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනේදී,
* කිරි ඉතිරවීම – නව වසරට ආශිර්වාද පතමින් චාරිත්‍රානුකූලව කිරි ඉතිරවීම සිදු විය.
* ගනුදෙනු කිරීම හා වැඩ ඇල්ලීම – නැකත් චාරිත්‍රවලට අනුව දරුවන් එකිනෙකා සමඟ අලුත් අවුරුදු ගනුදෙනු කරන ආකාරය සහ වැඩ ඇල්ලීම පිළිබඳව ප්‍රායෝගිකව හඳුන්වා දෙන ලදී.
* කැවිලි මේසය – සාම්ප්‍රදායික කැවිලි පෙතිවලින් සැරසුණු අවුරුදු කෑම මේසයක රස බැලීමටද දරුවන්ට අවස්ථාව ලැබුණි.
අධික හිරු රශ්මියෙන් දරුවන් පීඩාවට පත්වීම වළක්වා ගනිමින්, අපේ සංස්කෘතික උරුමයන් ඔවුන්ට කියා දීමට ගත් මෙම උත්සාහය දෙමාපියන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද ඉහළ පැසසුමට ලක්විය.
සීමිත කාලයක් තුළ ඉතා පිළිවෙළින් සහ සාමූහිකව පැවැත්වුණු මෙම “අවුරුදු චාරිත්‍ර විධි” මාලාව දූ දරුවන්ගේ මනසට අපේ සංස්කෘතිය පිළිබඳව අර්ථවත් මතකයක් එක් කිරීමට සමත් විය.










































