පළමුවැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ 120 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී විශේෂ විද්වත් කතිකාවක් පවත්වන ලදී. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට VIII වැනි විධායක ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් විය.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකම වේදිකාවකට රැගෙන ඒම සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාට ස්තූතිය පුද කළේය. එජාපය යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයක් බවත්, 1975 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ඒ බව ප්‍රකාශ කර ඇති බවත් ඔහු සිහිපත් කළේය. එමෙන්ම රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කළ බවද හෙතෙම සඳහන් කළේය.
කුඩා දේපළක්, ව්‍යාපාරයක් හෝ නිවසක් හිමි සාමාන්‍ය මිනිසෙකු තුළ ස්වාධීන පැවැත්මක් ඇති වන බව එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස විශ්වාස කරන බව වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. රට පුරා දේපළ අයිතිය ජනතාව අතර විමධ්‍යගත වීමෙන් බලයද ජනතාව අතර බෙදී යන අතර, එය කිසිදු වරප්‍රසාද ලත් පන්තියකට අයුතු ලෙස භාවිතා කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම ප්‍රතිපත්ති මත පදනම්ව ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ආරම්භ කරන ලද වසර 17ක ආර්ථික සහ සමාජීය විප්ලවය පසුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඉදිරියට ගෙන ගිය බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එදා මිලියන 2.5ක් වූ පාසල් යන දරුවන්ගේ සංඛ්‍යාව 1994 වන විට මිලියන 4.1 දක්වා වැඩි කිරීමට හැකි වූ බවත්, විදුලිබලය සහ ස්ථීර නිවාස අයිතිය ලබාදීම අතින් රට විශාල ප්‍රගතියක් අත්කරගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යයට ඇතුළත් කරමින් ජනතාවට අමතක නොවන අයිතීන් රැසක් ලබා දුන් බව හෙතෙම සිහිපත් කළේය. ගාමිණි දිසානායක මහතාගේ මහවැලි ව්‍යාපාරය සහ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ මහපොළ ශිෂ්‍යත්වය වැනි මෙහෙයුම් රටේ දුප්පත්කම දුරු කිරීමට විශාල දායකත්වයක් දැක්වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර කටයුතු ආරම්භ කර ඇති බව පවසමින්, ඒ සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සහ සාමාජිකයින්ටද ආරාධනා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.













