දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්ව කුසලතා ඔප්නංවනු පිණිස වාර්ෂිකව සංවිධානය කරනු ලබන “විශ්ව නැණ කඩමණ්ඩිය” පුංචි පැටවුන්ගේ සතුටු පොළ මෙවරත් අතිසාර්ථක අයුරින් පවත්වනු ලැබීය. ඒ පසුගිය මාර්තු 28 වන සෙනසුරාදා දින පෙරවරු 9.00 සිට 11.00 දක්වා කැලණිය දුම්රියපොළ පාර ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතන විහාර භූමියේදීය.
දරුවන් තුළ කුඩා කල සිටම ගනුදෙනු කිරීමේ හැකියාව, සන්නිවේදනය සහ සාමූහිකත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. විවිධ වෙළඳ කුටිවලින් සමන්විත වූ මෙම සතුටු පොළෙහිදී දරුවන් විසින්ම නිෂ්පාදනය කරන ලද දෑ මෙන්ම ආහාර පාන වර්ගද අලෙවි කෙරුණු අතර, ඒ සඳහා මවුපියන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.
වර්ණවත් බැලූන් සහ සැරසිලිවලින් අලංකාර වූ විහාර භූමිය පුරා දරුවන්ගේ සිනහව සහ උද්‍යෝගය දකින්නට ලැබුණු අතර, පොත්පත්වලින් ලබන දැනුමට එහා ගිය ප්‍රායෝගික අත්දැකීමක් දරුවන්ට සමීප කිරීමට මෙම “විශ්ව නැණ කඩමණ්ඩිය” සමත් විය.
ධර්මායතනය මඟින් වාර්ෂිකව ඉටුකරනු ලබන මෙම මෙහෙවර දරුවන්ගේ අනාගත සාර්ථකත්වයට මනා පිටුවහලක් වන බව එහි පැමිණ සිටි වැඩිහිටියන්ගේ අදහස විය.

































