Home එතෙරින් බිඳක් ට්‍රම්ප්ගේ සමීපතම හිතවතෙක් නෙතන්යාහුට එරෙහිව නැගී සිටී

ට්‍රම්ප්ගේ සමීපතම හිතවතෙක් නෙතන්යාහුට එරෙහිව නැගී සිටී

39
0
Share

ඇමරිකානු දක්ෂිණාංශික දේශපාලනයේ දැඩි මතධාරී සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රබල සගයෙකු ලෙස සැලකෙන, මාධ්‍යවේදී ටකර් කාල්සන් (Tucker Carlson), ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුව “පාලනය කරගන්නා” ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටීමත් සමග දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

“සමාවෙන්න, මෙය යුදෙව්-විරෝධයක් නෙවෙයි. මේ කතා කරන්නේ, ඔහුගේ තීරණ නිසා ඇමරිකානුවන් ඝාතනය වන, ලෝක ඉතිහාසයට සහ ඇමරිකාවේ අනාගතයට බලපෑම් කරන රාජ්‍ය නායකයෙක් ගැන,” කාල්සන් තම නවතම පොඩ්කාස්ට් වැඩසටහනේදී ප්‍රකාශ කළා.

හිටපු ෆොක්ස් නිව්ස් (Fox News) සත්කාරකයා වන කාල්සන් තවදුරටත් මෙසේ පැවසීය: “එක්සත් ජනපදය ඊශ්‍රායල ආණ්ඩුවට කිව යුතුයි, ‘ඔබ නොවේ මෙහි තීරණ ගන්නේ’ කියලා… මේ යන විදිහට එකඟ වීම නිසා වත්මන් පාලනාධිකාරය තරම් විශාල මිලක් ගෙවූ වෙනත් පාලනයක් නැහැ.”

මෙම ප්‍රකාශය ඉතා වැදගත් වන්නේ, සාම්ප්‍රදායිකව ඇමරිකානු දක්ෂිණාංශය ඊශ්‍රායලයේ දැඩි ආරක්ෂකයින් ලෙස පෙනී සිටින පසුබිමකය.

ප්‍රහාරය පිටුපස ඇති දේශපාලන ක්‍රීඩාව

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, ටකර් කාල්සන් යනු ඉරානයට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගයකට විරුද්ධව දැඩි ලෙස බලපෑම් කළ අයෙකි. ඔහු මේ සඳහා කිහිප වතාවක්ම ට්‍රම්ප්ව ධවල මන්දිරයේදී හමුවී ඇති බවද වාර්තා වේ.

මේ අතර, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මයික් ජොන්සන් ඇතුළු ඇමරිකානු නායකයින් කිහිප දෙනෙකු, වොෂින්ටනයේ ක්‍රියාමාර්ග “පූර්ව-ප්‍රහාරක” (pre-emptive) ඒවා ලෙස හඳුන්වමින් ඒවා ආරක්ෂා කිරීමට උත්සාහ කළේය. ඔවුන්ගේ තර්කය වූයේ, ඊශ්‍රායලය කෙසේ හෝ ප්‍රහාරයක් එල්ල කරන බව තමන් දැන සිටි නිසා ඊට පෙර මැදිහත් වූ බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ ප්‍රකාශයන් මගින් දිස්වන්නේ මීට වෙනස් චිත්‍රයකි.

සඳුදා රාත්‍රියේ ෆොක්ස් නිව්ස් වෙත අදහස් දක්වමින් නෙතන්යාහු පැවසුවේ, “ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ලෝකයේ සිටින ශක්තිමත්ම නායකයා. ඔහු ඇමරිකාවට හරි යැයි සිතන දේ කරනවා,” යනුවෙනි.

මෙම ප්‍රකාශය බැලූ බැල්මට ට්‍රම්ප්ට කරන ප්‍රශංසාවක් සේ පෙනුනද, එමගින් ඔහු සියුම් ලෙස පවසන්නේ, ප්‍රහාරයේ වගකීම සහ තීරණය ට්‍රම්ප්ගේම එකක් බවයි. මෙය, ට්‍රම්ප්ගේම දක්ෂිණාංශික කඳවුර තුළ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය පිළිබඳව මතුවෙමින් පවතින ගැඹුරු මතභේදය සහ බෙදීම මනාව ඉස්මතු කර පෙන්වයි. ටකර් කාල්සන්ගේ ප්‍රකාශය, මෙම අභ්‍යන්තර පිපිරීමේ ප්‍රබලම හඬ නගා සිටීමක් ලෙස සැලකිය හැකිය.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here