මැදපෙරදිග යුද්ධය ඔබේ මුදල් පසුම්බියට කෙළින්ම බලපාන හැටි. ඉන්ධන, විදේශ රැකියා, සංචාරක කර්මාන්තයට කුමක් වේවිද?
ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත්, ඉරානය විසින් ප්‍රතිප්‍රහාර දියත් කිරීමත් සමග මැදපෙරදිග කලාපය ගිනිගෙන තිබෙනවා. මෙම යුද ගින්නේ රස්නය, කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි ශ්‍රී ලංකාවට දරුණු ලෙස දැනෙන්නේ කෙසේද? Seylan News වෙත අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා පෙන්වා දෙන පරිදි, මෙම ගැටුම අපේ ආර්ථිකයේ සෑම අංශයකටම එල්ල කරන බලපෑම සුළුපටු නොවේ.
මෙය, එම සාකච්ඡාව ඇසුරින් සැකසූ විග්‍රහයකි.
භූ-දේශපාලනික චෙස් පුවරුව
දෙහිවත්ත මහතා පෙන්වා දෙන පරිදි, මෙය හුදෙක් ඉරානය සහ ඇමරිකාව අතර හටගත් ක්ෂණික ගැටුමක් නොවේ. මෙය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන, ලෝක බලශක්ති සම්පත් පාලනය කිරීමේ ඇමරිකානු මෙහෙයුමේ එක් පියවරකි. චීනයේ නැගී ඒම හමුවේ කඩාවැටෙන තම ආධිපත්‍යය රැකගැනීමට, ලෝකයේ බලශක්ති මර්මස්ථාන පාලනය කිරීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටී.
“ඉරානය ඇමරිකානු ප්‍රහාරයකට දශක ගණනාවක් තිස්සේ සූදානමින් සිටි රටක්. ඒ නිසා මෙය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා වුවද වර්ධනය වීමේ අවදානමක් පවතිනවා,” ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ලවන බහුවිධ ප්‍රහාරය
මෙම ගෝලීය ගැටුම ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු ආර්ථිකයට පහර දෙන්නේ කෙසේද? දෙහිවත්ත මහතා එය පැතිකඩ කිහිපයක් ඔස්සේ පැහැදිලි කරයි.
1. බලශක්ති අර්බුදය සහ ඉන්ධන පෝලිම්
දැනටමත් බාල ගල් අඟුරු ප්‍රශ්නය නිසා විදුලි ජනනය අර්බුදයක පවතින ශ්‍රී ලංකාවට, මෙම ගැටුම මරු පහරක් එල්ල කරයි. මැදපෙරදිග යුද්ධයත් සමග ලෝක වෙළඳපොළේ ඩීසල් ඇතුළු සියලු ඉන්ධන මිල ගණන් ඉහළ යාම නොවැළැක්විය හැකිය.
* ගල් අඟුරු හිඟය පියවීමට මිල අධික ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් විදුලි බිල තවත් ඉහළ යනු ඇත.
* “රජය පවසන්නේ රටට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන ඇති බවයි. නමුත් එය සැලකිය හැකි ප්‍රමාණයක් නොවේ. මිනිසුන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන මිලදී ගැනීමට පෙළඹුනහොත් (panic buying), මාසයකට ඇති ඉන්ධන සති දෙකකින් අවසන් විය හැකියි,” යනුවෙන් ඔහු බරපතළ අනතුරු ඇඟවීමක් කරයි.
2. විදෙස් ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය බිඳවැටීම
අපේ රටේ විදේශ සංචිතවල ප්‍රධාන ජීවනාලිය වන්නේ විදේශගත ශ්‍රමිකයින් එවන මුදල් සහ සංචාරක කර්මාන්තයයි. මෙම අංශ දෙකටම යුද්ධය සෘජුවම බලපායි.
* විදෙස් ප්‍රේෂණ – අපේ විදෙස් ප්‍රේෂණවලින් වැඩිම කොටසක් ලැබෙන්නේ මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ගෙනි. යුද්ධය උත්සන්න වුවහොත්, ජීවිත ආරක්ෂාව පතා ඔවුන් නැවත ලංකාවට පැමිණෙනු ඇත. එය විදෙස් ප්‍රේෂණ ආදායම බරපතළ ලෙස කඩා වැටීමට හේතුවකි.
* සංචාරක කර්මාන්තය – යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන් බහුතරයක් ශ්‍රී ලංකාවට පිවිසෙන්නේ ඩුබායි, කටාර් වැනි මැදපෙරදිග ගුවන් මධ්‍යස්ථාන හරහාය. එම ගුවන් මාර්ග අවහිර වීම සහ ගුවන් ගමන් ගාස්තු ඉහළ යාම නිසා, “වැඩි මුදලක් වියදම් කර ලංකාවට ඒමට සංචාරකයින් දෙවරක් සිතනු ඇත. ඔවුන් අඩු වියදම් වෙනත් රටක් තෝරාගනු ඇත,” යැයි දෙහිවත්ත මහතා පෙන්වා දෙයි.
3. විදේශ සංචිත සහ පොලී අනුපාත
ලංකාවේ විදේශ සංචිතවල ඇති කෙටිකාලීන ණය (hot money), මෙවැනි අස්ථාවර අවස්ථාවලදී ආරක්ෂිත ස්ථාන කරා වේගයෙන් ඇදී යයි.
“මෙම මුදල් රටින් පිටවීම වැළැක්වීමට, රජයට ඉදිරියේදී පොලී අනුපාත බරපතළ ලෙස ඉහළ දැමීමට සිදුවිය හැකියි. එය සමස්ත ආර්ථිකයටම පීඩනයක් ඇති කරනු ඇත,” ඔහු විග්‍රහ කරයි.
දැක්මක් නොමැති බලශක්ති ප්‍රතිපත්තිය
දෙහිවත්ත මහතාගේ විවේචනයට අනුව, වත්මන් ආණ්ඩුව බලශක්තියේ මිල ගැන අවධානය යොමු කළාට, රටට අවශ්‍ය “බලශක්ති ස්වාධිපත්‍යයක්” ගොඩනගා ගැනීම ගැන කිසිදු සවිඥානිකත්වයක් පෙන්වා නැත. “ආණ්ඩුවට ඇත්තේ ආනයනය කරන බලශක්තියටත් බදු ගසා මුදල් එකතු කිරීමේ හැඟීමක් පමණයි. ඉන් ඔබ්බට ගොස් මෙවැනි අර්බුදයකට මුහුණ දීමේ කිසිදු තක්සේරුවක් ඔවුන්ට නැහැ,” ඔහු පවසයි.
ආනයනය කර පරිභෝජනය කිරීමට පමණක් හුරුවූ, ස්වාධීන ආර්ථිකයක් නොමැති රටක්, මෙවැනි ගෝලීය කුණාටුවක් හමුවේ අස්ථාවර වීම වැළැක්විය නොහැකි බව ඔහුගේ අවසන් නිගමනයයි.














