හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවේ පිහිටි මාර්-ඒ-ලාගෝ නිවහනේ අධි-ආරක්ෂිත කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයෙකු රහස් සේවා නිලධාරීන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම සිදුවීම සිදුවන විට ජනාධිපති ට්‍රම්ප් වොෂින්ටන් ඩීසී හි රැඳී සිටි බව බලධාරීන් තහවුරු කර ඇත.
සිදුවීම
එක්සත් ජනපද වේලාවෙන් ඉරිදා අලුයම 1:30ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා. රහස් සේවය පවසන පරිදි, සැකකටයුතු පුද්ගලයා ගිනි අවියක් සහ ඉන්ධන කෑන් එකක් රැගෙන මාර්-ඒ-ලාගෝ නිවහනේ උතුරු දොරටුව අසලින් ආරක්ෂිත කලාපයට නීති විරෝධී ලෙස ඇතුළු වීමටයි උත්සාහ කර ඇත්තේ.
එහිදී රහස් සේවා නියෝජිතයන් සහ පාම් බීච් ප්‍රාන්ත ෂෙරිෆ් නිලධාරීන් ඔහුව නවත්වා අත ඇති දෑ බිම තබන ලෙස අණ කර තිබෙනවා.
“අපි ඔහුට කිව්වේ ‘අතේ තියෙන දේවල් බිමට දාන්න’ කියන එක විතරයි,” යැයි ෂෙරිෆ් රික් බ්‍රැඩ්ෂෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. “ඒ වෙලාවේ ඔහු ගෑස් කෑන් එක බිම දාලා, තුවක්කුවෙන් වෙඩි තියන්න සැරසුණා.”
එම අවස්ථාවේදී, තර්ජනය උදාසීන කිරීම සඳහා නිලධාරීන් වෙඩි තැබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සිදුවීමෙන් කිසිදු ආරක්ෂක නිලධාරියෙකුට හානියක් වී නොමැති අතර ඔවුන්ගේ නිල ඇඳුම්වල සවිකර තිබූ කැමරාවල (Body Cams) දර්ශන පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.
සැකකරු කවුද?
ඝාතනයට ලක් වූ පුද්ගලයා උතුරු කැරොලිනාවේ පදිංචි ඔස්ටින් ටී. මාටින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ඔහු අතුරුදන්ව ඇති බවට ඉරිදා අලුයම පැමිණිල්ලක් කර තිබූ බවත්, එම තොරතුරු ෆෙඩරල් බලධාරීන්ට ලබා දී තිබූ බවත් මුවර් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය තහවුරු කළා.
ඔහු උතුරු කැරොලිනාවේ සිට ෆ්ලොරිඩාව දක්වා මෝටර් රථයෙන් පැමිණි ගමන අතරතුර මෙම ගිනි අවිය මිල දී ගත්තේද යන්න පිළිබඳව බලධාරීන් පරීක්ෂණ පවත්වයි.
වැඩිවන දේශපාලන ප්‍රචණ්ඩත්වය
මෙම සිදුවීම, මෑත කාලයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කරගත් ප්‍රහාර සහ ප්‍රහාරක උත්සාහයන් මාලාවක නවතම එකයි.
* 2024 ජූලි – පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියකදී තෝමස් මැතිව් කෲක්ස් නැමැත්තෙකු විසින් එල්ල කළ වෙඩි පහරකින් ට්‍රම්ප්ගේ කනට තුවාල සිදු විය.
* 2024 සැප්තැම්බර් – ට්‍රම්ප්ගේ ගොල්ෆ් පිටියක පඳුරු අතර රයිෆලයක් සමඟ සැඟවී සිටි රයන් රූත් නැමැත්තෙකු අත්අඩංගුවට ගත් අතර, ජනාධිපති ඝාතන තැතක් සම්බන්ධයෙන් ඔහුට පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා.
මෙම සිදුවීම් හමුවේ, ඇතැම් දේශපාලන පාර්ශ්වයන් විසින් දේශපාලන ප්‍රචණ්ඩත්වය “සාමාන්‍යකරණය” කර ඇති බවට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් වැනි පුද්ගලයින් චෝදනා එල්ල කරමින් සිටී. එක්සත් ජනපදය තුළ දේශපාලනඥයින් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක් මෑතකදී වාර්තා වීමත් සමඟ, දේශපාලන ප්‍රචණ්ඩත්වය එරට තුළ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් FBI ආයතනයේ සහාය ඇතිව පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා.











