Home Flash News ඩෙංගු මඩින එන්නත රජයේ රෝහල්වලට නොදීම අසාධාරණයි – වෛද්‍ය චමල් සංජීව

ඩෙංගු මඩින එන්නත රජයේ රෝහල්වලට නොදීම අසාධාරණයි – වෛද්‍ය චමල් සංජීව

19
0
Share

ඩෙංගු රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා කුඩා ළමයින් ඉලක්ක කරගනිමින් ලබාදෙන Qdenga (TAK-003) එන්නත මෙරට භාවිතය සඳහා තවමත් ඖෂධ නියාමන අධිකාරියෙන් පූර්ණ අනුමැතිය ලැබී නොමැති බවත්, එය පළමු වටයේදී පුද්ගලික අංශයට පමණක් ලබාදීමට කටයුතු කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවය ලබන දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරනවා.

රුපියල් 60,000 ක අධික පිරිවැයක්

මෙම එන්නත සහ වුල්බැකියා (Wolbachia) බැක්ටීරියා ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලෙස වසර ගණනාවක සිට යෝජනා කළ බව පෙන්වා දෙන ඒ මහතා, එන්නත සාර්ථකව ලබාදීමට මාස 3 ක පරතරයකින් මාත්‍රා 2 ක් ලබාදිය යුතු බව සඳහන් කළා.

* ජාත්‍යන්තර වෙළඳපොළ මිල – එන්නත් කුප්පියක මිල ඇමෙරිකානු ඩොලර් 80 ක් පමණ වේ.

* ලංකාවේ පිරිවැය – මාත්‍රා දෙකම ලබා ගැනීමට රෝගියෙකුට රුපියල් 60,000 කට ආසන්න මුදලක් වැය වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

TAK-003 එන්නතේ වැදගත්කම සහ ලෝක පිළිගැනීම

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඩෙංගු තීව්‍රතාවය වැඩි ප්‍රදේශවල වයස අවුරුදු 6-16 අතර ළමුන් සඳහා නිර්දේශ කර ඇති එකම එන්නතයි.

1. වේගවත් ආරක්ෂාව – එන්නත ලබාදී දින 8 කින් පවා ප්‍රතිදේහ නිපදවීමට පෙර ආරක්ෂාවක් සපයන බව බ්‍රසීලයේ සිදුකළ අධ්‍යයනවලින් තහවුරු වී ඇත.

2. වෛරස් ප්‍රභේද 4 ටම සාර්ථකයි – DENV-1, DENV-2, DENV-3 සහ DENV-4 යන ප්‍රභේද 4 ටම එරෙහිව ක්‍රියාත්මක වේ. (දැනට ලංකාවේ ආසාදනවලින් 80% ක්ම DENV-2 වේ).

2022 දී හඳුන්වා දීමෙන් පසු ලොව පුරා රටවල් 43 කට වැඩි සංඛ්‍යාවක මෙය අනුමත කර ඇති අතර, මාත්‍රා මිලියන 32 කට වඩා බෙදා හැර ඇත. බ්‍රසීලය, ආර්ජන්ටිනාව, කොලොම්බියාව, ඉන්දුනීසියාව වැනි රටවල් රැසක රාජ්‍ය එන්නත්කරණ වැඩසටහන් හරහා මෙය නොමිලේ ලබාදෙන බවද වෛද්‍යවරයා මතක් කර දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සිදුකළ සායනික අත්හදා බැලීම්වලින් මෙම එන්නතේ සාර්ථකත්වය තහවුරු වී ඇති පසුබිමක, විශේෂඥ වෛද්‍ය කමිටුවල නිරීක්ෂණ කඩිනමින් ලබාගෙන ප්‍රධාන පෙළේ ළමා රෝහල් වෙත හෝ මෙම එන්නත නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම පියවර ගතයුතු බවයි වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here