Home Flash News ගම්මන්පිලගෙන් ආණ්ඩුවට නීති පාඩමක්

ගම්මන්පිලගෙන් ආණ්ඩුවට නීති පාඩමක්

15
0
Share

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට නීතිමය ප්‍රතිපාදන නැතැයි ආණ්ඩුව පවසන්නේ අසත්‍යයක් බවත්, පෙර නඩු තීන්දු ත්‍රිත්වයක් පදනම් කරගනිමින් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටිනවා.

කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

“ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කළ යුත්තේ නඩු තීන්දු ද සමඟයි”

කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය මහාචාර්ය ජනාධිපති නීතිඥ නලින්ද ජයතිස්ස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා ඇතුළු පිරිස ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයි කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ නීතිය යනු හුදෙක් පාර්ලිමේන්තුවේ සම්මත වන පනත් පමණක් නොව, ඉහළ අධිකරණවල තීන්දු ද ඊට ඇතුළත් වන බවයි.

* 2022 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව – 2022 කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විජිත් මලල්ගොඩ, දිලීප් නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් දුන් තීන්දුවට අනුව “අධිකරණයේ ස්වාධීනත්වය යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසකි.” අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම වෙනසක් 3 වන වගන්තියට (ජනතා පරමාධිපත්‍යයට) බලපාන බැවින්, 83 වන වගන්තිය අනුව එය ජනමත විචාරණයකට යොමු කළ යුතුය.

* තමන්ගේ නඩුවේ තමන්ම විනිසුරු නොවිය යුතුය (Nemo judex in causa sua) – 1610 Dr. Bonham නඩු තීන්දුව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ඍජු ප්‍රතිලාභ හිමිවන මෙම සංශෝධනය ගැන තීන්දු දීමට ඔවුන්ට නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් තිබෙන එකම අධිකරණය “ජනතා අධිකරණය” බැවින් මෙය ජනමත විචාරණයකට යා යුතුය.

* යුක්තිය ඉටු වන බව විද්‍යාමාන විය යුතුය – 1923 McCarthy නඩු තීන්දුව උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ආණ්ඩුව ලබා දෙන සේවා දිගුව භාරගෙන අධිකරණය ක්‍රියා කළහොත් ජනතාව තුළ පක්ෂග්‍රාහී බවක් හැඟී යා හැකි බැවින් යුක්තියේ පාරදෘශ්‍යභාවය උදෙසා ද ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

මහර බන්ධනාගාර ගැටුම සහ අධිකරණ ඇමතිවරයාගේ වගකීම

මීට අමතරව, මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා, බන්ධනාගාරවල පවතින අධික තදබදයට සහ අර්බුදවලට ඍජුවම අධිකරණ ඇමතිවරයා සහ ඔහුව රැකගැනීමට ඡන්දය දුන් මාලිමා මන්ත්‍රීවරුන් 152 දෙනා වගකිව යුතු බවට චෝදනා කළා.

“බන්ධනාගාරවල ධාරිතාව වගේ 4 ගුණයක් පිරිලා. එයින් 75% ක්ම රක්ෂිත බන්ධනාගාරගත වූවන්. 80% ක්ම මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්. රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා මොවුන් මාස ගණනක් බන්ධනාගාරවල තදබද වී සිටිනවා. අධිකරණ සේවා කොමිසම හරහා ඇප කොන්දේසි ලිහිල් කිරීමට හෝ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීමට ඇමතිවරයා පියවර ගෙන නෑ.” – උදය ගම්මන්පිල

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ස්ථිර කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත්කිරීම සහ ඇප ලබාදිය හැකි අවස්ථාවලදී ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරුන්ට උපදෙස් නිකුත් කරන ලෙස අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා සිටින ලෙසද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here