Home Flash News රජයේ සීල් එක ගහලා, ව්‍යාජ බෙහෙත් විකුණපු කල්ලියක් මාවනැල්ලෙන් කොටු

රජයේ සීල් එක ගහලා, ව්‍යාජ බෙහෙත් විකුණපු කල්ලියක් මාවනැල්ලෙන් කොටු

1196
0
Share

ආයුර්වේද සංස්ථාවේ නමින් ඔබත් රැවටුණාද? මාවනැල්ලේදී හෙළිවූ මහා පරිමාණ වංචාව සහ වැටලීමේ සම්පූර්ණ විස්තරය.

රජයේ ආයතනයක් කෙරෙහි පාරිභෝගිකයින් තුළ ඇති විශ්වාසය අවභාවිත කරමින්, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නම සහ නිල ලාංඡනය යොදාගෙන ව්‍යාජ ඖෂධ නිෂ්පාදනය කර අලෙවි කළ මහා පරිමාණ ජාවාරමක් කොටු කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) සමත් වී තිබේ.

පැමිණිල්ලෙන් ඇරඹි වැටලීම

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්, පසුගිය සිකුරාදා (26) මාවනැල්ල – හිගුල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක් වටලා තිබේ.

වංචාව සිදුකළ ආකාරය

මෙම වැටලීමේදී නිලධාරීන් විසින් තහවුරු කරගෙන ඇත්තේ, අදාළ ව්‍යාපාරික ස්ථානය ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නම සහ රාජ්‍ය ලාංඡනය වංචනික ලෙස සිය නිෂ්පාදන ඇසුරුම්වල යොදාගෙන ඇති බවයි. එමගින්, මෙම ව්‍යාජ නිෂ්පාදනය, රජයේ ආයුර්වේද සංස්ථාවේ සැබෑ නිෂ්පාදනයක් ලෙස පාරිභෝගිකයාට ඒත්තු ගන්වමින් ඔවුන් නොමග යවා අලෙවි කර ඇත.

මෙම වංචනික ක්‍රියාව මගින් රජයේ ආයුර්වේද සංස්ථාවේ කීර්තිනාමයට හානි කිරීම සහ පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යය බරපතළ අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. පාරිභෝගිකයින් ලෙස, භාණ්ඩ මිලදී ගැනීමේදී එහි සත්‍යතාව සහ ප්‍රමිතිය පිළිබඳව සැමවිටම විමසිලිමත් වීම අතිශයින් වැදගත් බව මෙම සිදුවීම නැවත වරක් කියාපායි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here