Home Flash News DIG කරවිට Sure ද? – යූටියුබ්කරුවන් ජනපතිගෙන් ප්‍රශ්න කරයි

DIG කරවිට Sure ද? – යූටියුබ්කරුවන් ජනපතිගෙන් ප්‍රශ්න කරයි

93
0
Share

ජනාධිපතිගේ නව මාධ්‍ය ක්‍රමය – අරලියගහ මන්දිරය වෙනුවට පැලවත්තෙන් ඇමතූ සමාජ මාධ්‍ය

මෙරට විධායක ජනාධිපති ඉතිහාසයේ පැවති වත්පිළිවෙත් සහ සම්ප්‍රදායන් රැසක් වෙනස් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉරිදා නවමු පියවරක් තැබීය. ඒ, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සිය පක්ෂ මූලස්ථානයට කැඳවීමෙනි.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරුන් මාධ්‍ය හමුවීමට යොදාගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය හෝ අරලියගහ මන්දිරය වැනි රාජ්‍ය ගොඩනැගිලිය. එහෙත්, එම සම්ප්‍රදාය පසෙකලා, ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දහහතර දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලයට ගෙන්වා පැය දෙකහමාරකට ආසන්න කාලයක් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය. මෙම හමුව සඳහා ජනාධිපතිවරයා සමග ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක්ව සිටියේය.

මෙම හමුවේදී හෙළිදරව් වූ කරුණු කිහිපයක් මෙසේය.

“වංචාවක් නෑ, ප්‍රමිතියේ ගැටලුවක් තියෙනවා” – ගල් අඟුරු ගැන ජනපති කට අරී

රට මුහුණ දී සිටින බලශක්ති අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කළ ජනාධිපතිවරයා, “තෙල් ප්‍රශ්නය උග්‍රයි. බොරතෙල් නැවක් ලබන සතියේ එන්න තියෙනවා. ඒක ආවේ නැති වුණොත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වහන්න වෙනවා,” යැයි පවසමින් තත්ත්වයේ බරපතළකම පෙන්වා දුන්නේය.

මෙහිදී, නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් නැගෙන වංචා චෝදනා ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, “වංචාවක් නැහැ. නමුත් ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තියෙනවා,” යනුවෙනි.

ඇමරිකාව කළ ඉල්ලීම් සහ ලංකාවේ ප්‍රතික්ෂේප කිරීම්

මෙම හමුවේදී වඩාත්ම අවධානයට ලක්වූයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ හෙළිදරව්වයි.

* ඇෆ්ගනිස්ථානයේ යුද්ධයෙන් ඇමරිකාව බේරාගත් එරට වැසියන් පිරිසක් කටාර් රාජ්‍යයේ සිටින බවත්, ඔවුන්ව ශ්‍රී ලංකාවට භාරගන්නා ලෙස ඇමරිකානු විශේෂ නියෝජිතයෙකු තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා පැවසීය.

* ඇමරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා මත්තල ගුවන්තොටුපළට ගොඩබැස්සවීමේ යෝජනාවක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

* ත්‍රිකුණාමලය ඉන්ධන ගබඩා සංකීර්ණය හවුල් ක්‍රියාකාරීත්වයක් මත සංවර්ධනය කිරීමටද ඇමරිකාව යෝජනා කර ඇති බව ඔහු හෙළි කළේය.

උත්තර නොදුන් ප්‍රශ්නය සහ දුන් සහතිකය

මෙම සාකච්ඡාවේදී සියලු ප්‍රශ්නවලට පිළිතුරු නොලැබීමද විශේෂත්වයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා විපක්ෂ දේශපාලන පක්ෂ සමග සබඳතා පවත්වන “ෂුවර්” නිලධාරියෙකුදැයි නැගූ ප්‍රශ්නයට ජනාධිපතිවරයා කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැත.

කෙසේ වෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනාගතයේදී ගැටලුවක් ඇතිවිය හැකිදැයි ඇසූ විට, “කිසිදු ප්‍රශ්නයක් නැහැ,” යැයි ජනාධිපතිවරයා සහතිකයක් ලබා දුන්නේය.

මෙම හමුව, නව ජනාධිපතිවරයාගේ පාලනය යටතේ රාජ්‍ය සන්නිවේදනයේ සහ මාධ්‍ය භාවිතයේ සිදුවෙමින් පවතින වෙනස පිළිබඳව මෙන්ම, මෙතෙක් රහසිගතව පැවති රාජ්‍ය තාන්ත්‍රික සහ දේශපාලන කරුණු පිළිබඳවද වැදගත් ඉඟි සපයයි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here