ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි නොවීම නිසා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි. මගී ජනතාව දැඩි අසීරුතාවක. සම්පූර්ණ විස්තරය මෙන්න.
ඊයේ (23) දිනය ආරම්භ වුණේ සාමාන්‍ය ජනතාවට අලුත් හිසරදයක් එක්කයි. රැකියාවට, පාසලට හෝ අත්‍යවශ්‍ය ගමනක් යන්න බස් නැවතුමට ගිය බොහෝ දෙනෙක්ට දකින්න ලැබුණේ හිස් බස් නැවතුම්පොළවල්. හේතුව තමයි ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය නොකිරීම නිසා පෞද්ගලික බස් රථ හිමියන් ධාවනයෙන් ඉවත් වීම.
වාර්තා වන අන්දමට ඊයේ දිනයේ පෞද්ගලික බස් රථවලින් 90%ක්ම ධාවනය වුණේ නෑ. බැස්ටියන් මාවතේ සිට ග්‍රාමීය අතුරු මාර්ග දක්වාම මේ තත්ත්වය දකින්න ලැබුණා.
ඇයි බස් දිව්වෙ නැත්තේ?
මේකට කෙටිම උත්තරේ “පාඩුයි” කියන එක. මේ මාසයේ විතරක් තුන් වතාවක් ඉන්ධන මිල ඉහළ ගියා. 2025 ජූලි මාසයේ අන්තිමට බස් ගාස්තු සංශෝධනය කරනකොට ඩීසල් ලීටරයක් රුපියල් 289යි. හැබැයි දැන් එය රුපියල් 382ක් දක්වා ඉහළ ගිහින්.
ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ වත්මන් ඩීසල් මිලට බස් ධාවනය කිරීමෙන් කෙටි දුර බස් රථයක් දිනකට රු. 5000 – 7000ත් අතර පාඩුවක් විඳින බවයි. දුර ගමන් බස් රථවල පාඩුව රු. 15,000 – 20,000 අතර වෙනවා.
“අපි කරන්නෙ ව්‍යාපාරයක්. පාඩු විඳගෙන ව්‍යාපාර කරන්න කවුරුවත් කැමති නෑ. මේක වර්ජනයක් නෙවෙයි, ධාවනය කරගන්න බැරිව ඉවත් වීමක්,” යනුවෙන් ඔහු සඳහන් කරනවා. බස් හිමියන් බලාපොරොත්තු වෙන්නේ අවම වශයෙන් 12.5% සිට 15% දක්වා බස් ගාස්තු වැඩිවීමක්.
මගී ජනතාව අන්ත අසරණයි
මේ තීරණයත් එක්ක වැඩියෙන්ම බැට කෑවේ අහිංසක මගී ජනතාව. කොළඹ බැස්ටියන් මාවතේ විතරක් නෙවෙයි, මහනුවර, ගාල්ල, කුරුණෑගල වගේ ප්‍රධාන නගරවලත් මගීන් පැය ගණන් රස්තියාදු වුණා.
ලංගම බස් රථ ධාවනය වුණත්, දුම්රිය ධාවනය වුණත්, පෞද්ගලික බස් නැති අඩුව පුරවන්න ඒවා කිසිසේත් ප්‍රමාණවත් වුණේ නෑ. සමහර බස්වල මගීන් “පොල් පටවලා වගේ” තෙරපිලා යනවා දකින්න ලැබුණා. පාසල් ළමුන් සහ කාර්යාල සේවකයන් බොහෝ දෙනෙක්ට ආපහු ගෙදර යන්න සිද්ධ වුණා.
මහනුවර සිට පිටකොටුවට ආ අජිත් පෙරේරා මහතා තමන්ගේ අත්දැකීම විස්තර කළේ බොහොම ආවේගයෙන්. “යුද්ධෙ යුද්ධෙ කියලා හරියන්නෙ නෑ. තෙල් නැග්ගුවා නම් බස් ගාස්තුත් නග්ගන්න ඕනේ. මෙහෙම ගියොත් අපිට වෙන්නේ ජීවත් වෙන්න නෙවෙයි මැරෙන්නයි.”
ග්‍රාමීය ප්‍රදේශවලට මරු පහරක්
කොළඹ තත්ත්වය මෙහෙම නම්, ගම්වල තත්ත්වය ඊටත් වඩා භයානකයි. අතුරු මාර්ගවල ධාවනය වන පෞද්ගලික බස් රථ නැවතුණාම ගම්වල මිනිස්සුන්ට එළියට එන්න විදිහක් නෑ. ලංගම බස් ධාවනය නොවන බොහෝ ග්‍රාමීය මාර්ගවල රෝගීන් රෝහල්වලට ගෙනියන්නවත් ක්‍රමයක් නැති වුණා.
අම්පාර වගේ ප්‍රදේශවල ධාවනයට එක්වුණ බස් රථවලටත් විරෝධතා එල්ල වුණ බව වාර්තා වුණා. කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වෙලා ආරක්ෂාව සැපයුවත්, බොහෝ රියදුරන් බස් එළියට ගන්න බියක් දැක්වූවා.
ලෝකෙට මොකද වෙන්නේ?
මේ ප්‍රශ්නය ලංකාවට විතරක් සීමා වුණ එකක් නෙවෙයි. මැදපෙරදිග යුද ගැටුම් නිසා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තියෙනවා. ඉරානය සම්බන්ධ යුද උණුසුම වැඩි වුණොත් ඩීසල් මිල මීටත් වඩා ඉහළ යන්න පුළුවන් බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා.
විසඳුම කුමක්ද?
ආණ්ඩුව සහ බස් සංගම් අතර පවතින මේ “ඇදගමන” මැද තැලෙන්නේ සාමාන්‍ය ජනතාවයි. ජනතාව කියන්නේ තෙල් මිල වැඩි නම් සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් කර හෝ බස් ධාවනය කරන්න කියලයි. එහෙම නැතුව මහමග රස්තියාදු වෙන්න සිදුවීම දරාගන්න බැරි පීඩනයක්.
ඉදිරි දින කිහිපය තුළ මේ ගැටලුවට ස්ථිර විසඳුමක් නොලැබුණොත්, පොදු ප්‍රවාහනය බිඳවැටීමෙන් රටේ දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වෙන්න ඉඩ තියෙනවා.














