EV චාර්ජ් කිරීමේ සිට පාසල් වෑන් දක්වා. අප විසින්ම අපේ ජීවිත වටා ගොතාගත් අර්බුදකාරී දැල සහ එයින් ගැලවෙන මග ගැන නැවුම් විමසුමක්.
මැදපෙරදිග යුද්ධයත් සමග මතුවූ ඉන්ධන අර්බුදය හමුවේ, ජනාධිපතිවරයා මෑතකදී ඉලෙක්ට්‍රික් වාහන (EV) හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළා. සවස 6ත් 10ත් අතර, විදුලි ඉල්ලුම අධිකම වේලාවේදී, වාහන ආරෝපණය (charge) කිරීමෙන් වළකින ලෙසටය.
රටේ විදුලිබල පද්ධතිය රැකගැනීමේ අරමුණින් රජය කරන මෙම ඉල්ලීම සාධාරණ බව පෙනුනද, EV හිමිකරුවෙකුගේ පැත්තෙන් එය අසාධාරණය. දවස පුරා රැකියාවක නිරතව, නිවසට පැමිණ විවේක ගන්නා වේලාවේදී වාහනය චාර්ජ් නොකරන්නැයි කීම උභතෝකෝටිකයකි. වඩාත්ම ගැටලුකාරී කාරණය නම්, 2022 ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස වැඩි වැඩියෙන් EV භාවිතයට ජනතාව දිරිමත් කළේ ද මේ රජයම වීමයි.
ඉන්ධන ප්‍රශ්නයෙන් ගැලවීමට EV රථයකට මාරු වූ පාරිභෝගිකයාට, දැන් විදුලි අර්බුදයෙන් රජය ගලවා ගැනීමට සිදුව තිබේ. “මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී” කියන්නා සේ, අප විසින්ම නිර්මාණය කරගත් මෙවැනි අර්බුද රැසක අද අපි සිරවී සිටිමු.
පොදු ප්‍රවාහනයේ බිඳවැටීම: සියලු අර්බුදවල මූලය?
මෙම අර්බුදකාරී ජාලයේ ප්‍රධාන නූලක් වන්නේ, දශක ගණනාවක් පුරා අපේ රටේ පොදු ප්‍රවාහන සේවය ක්‍රමානුකූලව දුර්වල කිරීමයි. 1977 විවෘත ආර්ථිකයෙන් පසු බලයට පත් කිසිදු ආණ්ඩුවක්, බ්‍රිතාන්‍යයේ මෙන් ජනතාවට තම පෞද්ගලික වාහනය නිවසේ තබා, සුවපහසුවෙන් ගමන් කළ හැකි පොදු ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීමට උත්සාහ කළේ නැත. මෙහි ප්‍රතිඵල දාමයක් ලෙස අප අද මුහුණ දෙන ගැටලු රාශියක් නිර්මාණය විය.
* පාසල් වෑන් සංස්කෘතිය – දරුවන් පාගමනින් හෝ බසයෙන් පාසල් ගිය යුගයක් අපට තිබුණි. නමුත් සිවිල් යුද්ධය සමග මතුවූ ආරක්ෂක බිය සහ ලංගම පාසල් බස් සේවයේ කඩාවැටීම, දෙමාපියන්ව පාසල් වෑන් රථ වෙත තල්ලු කළේය. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගතවී ඇතත්, අද වන විට පයින් යා හැකි දුරකට පවා දරුවන් වෑන් රථවලින් යැවීම සාමාන්‍ය දෙයක් බවට පත්වී, විශාල ඉන්ධන ප්‍රමාණයක් ඒ සඳහා වැය වෙමින් පවතී.
* කාර්යාල ප්‍රවාහන සේවා – පාසල් වෑන් සේම, කාර්යාල සේවක සේවිකාවන් සඳහා ද පෞද්ගලික ප්‍රවාහන සේවා බිහිවූයේ පොදු ප්‍රවාහනයේ මෙම දුර්වලතාවය නිසාය. මේවායින් රැකියා අවස්ථා නිර්මාණය වූවද, අනෙක් පසින් රටේ සමස්ත ඉන්ධන පරිභෝජනය විශාල ලෙස ඉහළ ගියේය.
* මාර්ග තදබදය සහ පෞද්ගලික වාහන – පොදු ප්‍රවාහනයෙන් පීඩා විඳි ජනතාව, ලීසිං ක්‍රමවල පහසුවත් සමග තම පෞද්ගලික වාහනයක් මිලදී ගැනීමට පෙළඹුණහ. එහි ප්‍රතිඵලය වූයේ, අද අප කවුරුත් බැණ වදින, පැය ගණන් අපේ කාලය කා දමන, ඉන්ධන ටොන් ගණන් දවාලන දැවැන්ත මාර්ග තදබදයයි.
පයින් ගිය දුරටත් වීල් එකක් – වෙනස් වූ අපේ පුරුදු
පොදු ප්‍රවාහනයේ බිඳවැටීමට අමතරව, අපේ පෞද්ගලික චර්යාවන්ගේ වෙනස්වීම් ද මෙම අර්බුදයට දායක වී තිබේ.
අපේ වැඩිහිටි පරම්පරාව, බස් තිබියදීත්, ළඟපාත ගමන් ගියේ පා ගමනිනි. එහෙත් අද අපට මීටර් පන්සීයක දුරක් යාමට පවා ත්‍රිරෝද රථයක් නැතිවම බැරිය. අතුරු මාර්ගවල සහ රාත්‍රී කාලයේදී බස් රථ හිඟවීමද ත්‍රිරෝද රථ භාවිතය වැඩිවීමට හේතු විය. එහි ඇති සැබෑ උත්ප්‍රාසය නම්, පයින් නොයාම නිසා අහිමි වූ ව්‍යායාමය ලබා ගැනීමට, ඉන්ධන දහනය කරමින් වාහනයකින් “ජිම්” එකකට යාමට ද අපට සිදුවීමයි.
අර්බුදයෙන් ලැබෙන පාඩම
අප මෙහිදී සාකච්ඡා කළේ මෙම කාරණාවල හොඳ නරක නොවේ. “දියුණුව” යැයි අප සලකන සෑම දෙයකම අප නොදකින තවත් පැත්තක් ඇති බව පෙන්වා දීමය. කාර්යබහුල ජීවිත ගෙවන අපට මේවා ගැන සිතන්නට කාලයක් නැත. අපට මේ ගැන සිතන්නට ඉඩක් ලැබෙන්නේ, අද මෙන්, අප විසින්ම නිර්මාණය කරගත් අර්බුදයක පැටලී, එයින් ගොඩ ඒමට මගක් නොපෙනෙන විටය.
එසේ බලන කල, අර්බුදයක වුවද යම් ධනාත්මක පැත්තක් තිබේ. එය අපට මොහොතකට නතර වී, “අපට වැරදුණේ කොතැනද?” කියා සිතන්නට බල කරයි. ඒ සිතුවිල්ල, හෙට දවසේදී හෝ වඩාත් බුද්ධිමත් තීරණ ගැනීමට අපට මග පෙන්වනු ඇත.














