Home Flash News ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ද්විත්ව අභියෝගයක්

ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ද්විත්ව අභියෝගයක්

43
0
Share

පවතින ජාතික ජන බලවේග රජයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින්, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල අද (23) පැවති මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කළේය. ඉන්ධන මිල ඉහළ දැමීම සහ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳව ඔහු විසින් එල්ල කරන ලද චෝදනා සහ අභියෝග හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වන විට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඉන්ධන මිල ගැන ගම්මන්පිලගෙන් ආණ්ඩුවට සැර ප්‍රශ්න

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේ, පෙට්‍රල් ලීටරයක පිරිවැය රු. 430ක් සහ ඩීසල් ලීටරයක පිරිවැය රු. 587ක් ලෙස දැක්වීම සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි.

“සිංගප්පූරු ප්ලැට්ස් දර්ශකයට අනුව 2026 මාර්තු මාසයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 253යි. ඩීසල් ලීටරයක මිල රුපියල් 292යි. එසේ නම්, මේ මිල ගණන් දෙගුණයකින් පමණ ඉහළ ගියේ කොහොමද? ආණ්ඩුව කියන්නේ ටොම් පචයක්. ජනතාව රවටන්නේ නැතිව, ඉන්ධන මිල ගණනය කරන සූත්‍රය වහාම හෙළි කරන්න” යැයි ඔහු අභියෝග කළේය.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම නිසා නොව, ආණ්ඩුව විසින් ඉන්ධන මත පනවා ඇති අධික බදු නිසා මිල ඉහළ ගොස් ඇති බවයි. “ජර්මනිය, ඉන්දියාව, ජපානය වගේ ලෝකයේ රටවල් විශාල ගණනක් ඉන්ධන බදු අඩු කරලා ජනතාවට සහන දීලා තියෙනවා. 2025 දී බදු පිට බදු ගහලා පිරෙව්ව භාණ්ඩාගාරයේ සල්ලි ඉතිරිලා තියෙනවා නම්, ඇයි මේ බදු අඩු කරන්නේ නැත්තේ?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

මීට අමතරව, ඩීසල් හිඟයට හේතුව ජනතාවගේ අනවශ්‍ය මිලදී ගැනීම් නොව, බාල ගල් අඟුරු නිසා විදුලි ජනනයට ඇති වූ බලපෑම පියවීමට ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීම බවද ගම්මන්පිල මහතා චෝදනා කළේය.

පාස්කු මහ මොළකරු හෙළිදරව්ව සහ අත්අඩංගුවට ගැනීමේ අභියෝගය

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා කියා සිටියේ, තමන්ව අත්අඩංගුවට ගත්තද, මාර්තු 31 වන දින පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන බවයි.

“පුළුවන් නම් මාර්තු 27ට මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියලා මම අභියෝග කරනවා. මම අත්අඩංගුවේ හිටියත්, නිදහසේ හිටියත්, ජීවතුන් අතර හිටියත් නැතත්, මහ මොළකරු හෙළි කරන පොත මාර්තු 31දා නිකුත් වෙනවා,” යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු, හිටපු රහස් පොලිස් නිලධාරීන් වන රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් වෙතද බරපතළ චෝදනා එල්ල කළේය. පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු වූ ඊබ්‍රාහිම් පවුලේ අයට “රජ සැප” ලබා දුන් බවත්, රාමසාන් දිනයකදී තරු පහේ හෝටලයකින් ආහාර ගෙන්වා දුන් බවත්, පාස්කු කොමිෂන් සභා වාර්තා උපුටා දක්වමින් ඔහු චෝදනා කළේය.

“සොනික් සොනික්” නම් බුද්ධි නිලධාරියාගේ අනන්‍යතාවය ශානි අබේසේකර මහතා විසින් හෙළිදරව් කිරීම වැනි සිදුවීම් හරහා, බුද්ධි අංශ පාවා දීමේ ඉතිහාසයක් ඇති බවත්, තම පොතෙන් ඒ සියල්ල හෙළි වන නිසා ආණ්ඩුව බියට පත්ව ඇති බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here