ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින දැඩි ඉන්ධන සහ ගෑස් අර්බුදයට විසඳුම් සෙවීමේ තීරණාත්මක සාකච්ඡා වටයක් සඳහා රුසියාවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා ලබන 25 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරනවා.
මෙම සංචාරය පිළිබඳ නිල නිවේදනය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අද (23) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. රටම බලශක්ති අර්බුදයකින් දැඩිව පීඩා විඳින මොහොතක සිදුවන මෙම සංචාරය, අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන නව බලාපොරොත්තුවක් ලෙස බොහෝ දෙනාගේ අවධානයට ලක්වී ඇත.
විශේෂ සාකච්ඡා සහ ඉහළ පෙළේ හමුවීම්
දින තුනක කාලයක් දිවයිනේ රැඳී සිටීමට නියමිත රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙරට ඉහළ පෙළේ දේශපාලන නායකයන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, ජනාධිපතිවරයා සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡා මෙහිදී ප්‍රධාන තැනක් ගනු ඇත. මෙම හමුවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෑස් සහ ඉන්ධන අර්බුදයට කඩිනම් සහ තිරසාර විසඳුමක් ලබා ගැනීමයි.
සංචාරයට මග පෑදුණු හැටි
මෙම විශේෂ සංචාරය සඳහා මූලික පසුබිම සකස් වී ඇත්තේ මීට පෙර ශ්‍රී ලංකා බලධාරීන් සහ රුසියානු තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.
බලශක්ති අමාත්‍යවරයා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන් රුසියානු තානාපතිවරයා හමුවී, ශ්‍රී ලංකාවට කඩිනමින් ඉන්ධන නැව් දෙකක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලීම කෙරෙහි යහපත් ප්‍රතිචාර දක්වමින්, අර්බුදය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීම සඳහා මෙම ඉහළ පෙළේ දූත පිරිසක් එවීමට රුසියානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ.














