වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය, ඉන්ධන ගනුදෙනු සහ දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. රජය විසින් නිතර කියැවෙන “රාජපක්ෂලාගේ ඩොලර් බිලියන 18ක හොරකම” සහ වත්මන් ආර්ථික කළමනාකරණය ගැන ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.
බිලියන 18 කතාව සහ “මිලියන විස්සේ” නඩු
පසුගිය කාලය පුරාම සමාජයේ දැඩි කතාබහට ලක්වූ රාජපක්ෂ පවුල සතු බව කියන ඩොලර් බිලියන 18ක මුදල ගැන නාමල් රාජපක්ෂ මහතා උපහාසාත්මකව පිළිතුරු ලබා දුන්නා.
“රාජපක්ෂලා ඩොලර් බිලියන 18ක් හොරකම් කළා කිවුවා. හැබැයි ඉතින් ඔහොම රුපියල් මිලියන විස්ස විස්ස (දඩ හෝ නඩු මගින්) හදාගෙන යන්න ගියොතින්, ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ අවුරුදු පහට නෙවෙයි ඊළඟ ආත්මෙටවත් බෑ,” යැයි මන්ත්‍රීවරයා පැවසුවා. ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීමට පරණ බොරු නැවත සමාජගත කිරීමට උත්සාහ කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඩීසල් ලීටරයකට ඩොලර් 45ක් වැඩිපුර ගෙවලා?
ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලිය ගැන බරපතල චෝදනාවක් එල්ල කරමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, මිත්‍රශීලී රටවල් සමඟ සාකච්ඡා කර සහනදායී මිලට තෙල් ගන්නා බව කිවුවත්, අද සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බවයි.
“අද ලෝක වෙළඳපොලේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් තමයි ඩීසල් මිලදී ගන්නේ. මිත්‍රශීලී රටවල් එක්ක කතා කරලා අඩුවට තෙල් ගන්නවා කිව්වට එහෙම උත්සාහයක්වත් දක්වන්නේ නෑ. ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව වහගන්න අද තෙල් මිල වැඩි කරලා ඒක ජනතාවගේ පිටට දානවා,” ඔහු චෝදනා කළා.
නිලධාරීන්ට එල්ල වන පීඩනය සහ සියදිවි නසාගැනීම්
රාජ්‍ය නිලධාරීන්ට සහ ස්වාධීන ආයතනවලට දේශපාලන බලපෑම් එල්ල වන බවට ද නාමල් රාජපක්ෂ මහතා අනතුරු ඇඟවූවා. මෑතකදී පුද්ගලයෙකු එල්ලී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අසූ අට – අසූ නවය යුගයේ මෙන් පීඩනයක් ලබා දී බොරු සාක්ෂි සකස් කිරීමට උත්සාහ කරන බවයි. පොලිස්පතිවරයා “මාලිමාවේ පොලිස්පතිවරයා” ලෙස නොව රටේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළා.
ආර්ථිකයට විසඳුම්: පෝට් සිටිය සහ මත්තල
ආණ්ඩුවට දොස් පැවරීමට පමණක් සීමා නොවූ මන්ත්‍රීවරයා, ආර්ථිකය ගොඩගැනීමට යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කළා.
* පෝට් සිටිය (Port City) – ඩුබායි සහ මැදපෙරදිග ආයෝජකයින් නව බැංකුකරණ ස්ථාන සොයන මොහොතක, බදු සහන ලබා දී හෝ පෝට් සිටිය බැංකුකරණ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කළ යුතු බව.
* මත්තල ගුවන්තොටුපළ – භූගෝලීය පිහිටීම අනුව මත්තල ගුවන්තොටුපළේ උපරිම ප්‍රයෝජන ගත යුතු බව.
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය
අවසාන වශයෙන් ජවිපෙ (JVP) අතීත ක්‍රියාකලාපය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, “පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන කියලා ජනතාවට ආරාධනා කරපු අය පාර්ලිමේන්තුවට ආවම ඒ ගැන ගරුත්වයක් නෑ. ඒ අයගේ හිතේ තියෙන්නේ මේක ගිනි තියන්නමයි,” යනුවෙනි.














