Home Flash News තෙල් පෝලිම්වලට, ඉදිරියේදී විසඳුම් ලැබේවිද?

තෙල් පෝලිම්වලට, ඉදිරියේදී විසඳුම් ලැබේවිද?

18
0
Share

ඉන්ධන අර්බුදය සහ මිල ඉහළ යෑම ගැන පසුගිය දින කිහිපය පුරාම රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණා. ඊයේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත්තේ ඉදිරියේදී ඉන්ධන ලැබෙන ආකාරය සහ රටේ ආර්ථිකයට මෙයින් ඇතිවන බලපෑම ගැනයි. අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය කළා.

නැව් එන දින වකවානු

ජනතාවට සුබ ආරංචියක් ගෙන එමින් අමාත්‍යවරයා තහවුරු කළේ එළැඹෙන මාර්තු 25 වනදා ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි. ඒ වගේම මාර්තු 17 වනදා යොමු කළ ටෙන්ඩරයට අනුව අප්‍රේල් මාසය සඳහා සැලසුම් කර ඇති ඉන්ධන නෞකා ලැයිස්තුව ද ඔහු ඉදිරිපත් කළා.

* අප්‍රේල් 6, 7, 8 – ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක නැව් දෙකක්

* අප්‍රේල් 10 සහ 11 – ජෙට් A1 (ගුවන් යානා ඉන්ධන) මෙක්ට්‍රින් ටොන් 35,000ක්

* අප්‍රේල් 12 සහ 13 – දැවි තෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්

* අප්‍රේල් 16 සහ 17 – පෙට්‍රල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්

කෙසේ වෙතත්, අප්‍රේල් මාසයට නියමිතව තිබූ බොරතෙල් නෞකාව පැමිණෙන්නේ නැති බවත්, ඒ වෙනුවට ජූනි මාසයේදී බොරතෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක නෞකාවක් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මිල වැඩි වුණත් රජයෙන් සහනයක්?

ඉන්ධන මිල ඉහළ දැමීම ජනතාවට බරක් වුවත්, රජය තවමත් විශාල පාඩුවක් දරාගෙන සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඊයේ (21) සිදුකළ මිල වැඩි කිරීම තුළ පවා පහත සහන රජය විසින් දරා තිබෙනවා.

* ඩීසල් ලීටරයකට – රුපියල් 100ක පාඩුවක්
* පෙට්‍රල් ලීටරයකට – රුපියල් 20ක පාඩුවක්

මෙම සහනය ලබා දීම වෙනුවෙන් රජයට මසකට රුපියල් බිලියන 20ක අමතර වැය බරක් දැරීමට සිදුවනවා. මෙම බර සම්පූර්ණයෙන්ම රජය විසින් දරා ගන්නේ නම්, වසරකට ඩොලර් බිලියන 1.5ක මුදලක් වැය කිරීමට සිදුවන බවත්, එය රටේ සමස්ත ආර්ථිකයට දරාගත නොහැකි බලපෑමක් එල්ල කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

ලෝක දේශපාලනය සහ අපේ සාක්කුව

ලෝකයේ පවතින යුදමය වාතාවරණය අපේ ඉන්ධන මිලට සෘජුවම බලපාන ආකාරය ගැන අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වුවා.

“යුද්ධය ගැන කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකියි… යුද්ධය හෙට අවසන් වුවත් විශේෂයෙන් ආර්ථිකයට, තෙල් නිෂ්පාදනයට, යටිතල පහසුකම්වලට එල්ල වෙලා තියෙන බලපෑම අනුව, අපේ ආර්ථිකයට යුද්ධයෙන් වෙන බලපෑම එක රැයෙන් එක මොහොතින් අවසන් වෙන්නේ නෑ.”

QR කෝටාව සහ අපේ වගකීම

ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස නැවතත් QR ක්‍රමවේදය කෙරෙහි ජනතාවගේ උනන්දුව වැඩි වී තිබෙනවා. ගතවූ දින කිහිපය තුළ QR පද්ධතියේ ලියාපදිංචි වූ පිරිස 5,995,365ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මිලියන 2ක නව ලියාපදිංචි වීම් වාර්තා වී තිබෙනවා.

අද සිට වාහන සඳහා ඉන්ධන කෝටාව වැඩි කර තිබුණත්, ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළා. රාජ්‍ය අංශයේ බලශක්ති පරිභෝජනය අවම කිරීම සඳහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවත්, ජනතාවද මේ මොහොතේ රට ගැන සිතා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු සිහිපත් කළා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here