යුද්ධයේ අහිංසක ගොදුරු වන දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන්, හිටපු කොළඹ නගරාධිපතිනියගෙන් විශේෂ ආයාචනයක්.
ලොව පුරා ජාතීන් අතර බෙදීම් උග්‍ර වෙමින්, සාමය සහ සහජීවනය දැඩි තර්ජනයකට ලක්ව ඇති මොහොතක, සංයමයෙන් සහ වගකීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලමින් හිටපු කොළඹ නගරාධිපතිනි සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය, ලෝක නායකයින්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
පළමු සහ දෙවන ලෝක යුද්ධවල කටුක අත්දැකීම් සිහිපත් කරන ඇය, ප්‍රචණ්ඩත්වයෙන් කිසිදා සැබෑ සාමයක් අත් නොවන බවත්, ඉතිරි වන්නේ විනාශ වූ සමාජයන් සහ දරාගත නොහැකි වේදනාවන් පමණක් බවත් අවධාරණය කරයි. සැබෑ සහ තිරසාර සාමයක් ගොඩනැගිය හැක්කේ සංවාදය, රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සහ මානව ගෞරවයට අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම තුළින් පමණක් බව ඇය පෙන්වා දෙයි.
අවි නොගත් අහිංසකයන්ගේ ඛේදවාචකය
යුද්ධයේ සැබෑ මිල ගෙවන්නේ එයට කිසිදු සම්බන්ධයක් නැති අහිංසක දරුවන් සහ කාන්තාවන් බව පෙන්වා දෙන සේනානායක මහත්මිය, එය සමස්ත මනුෂ්‍යත්වයේම පරාජයක් ලෙස හඳුන්වයි.
“මවකගේ විලාපයක්, කුසගින්නේ සහ බියෙන් හැඬලන දරුවෙකුගේ කඳුළක් යනු කවර පාර්ශවයක වුවද සමස්ත මනුෂ්‍යත්වයේම පරාජයකි,” යනුවෙන් ඇය සිය නිවේදනයේ සඳහන් කරයි.
එබැවින්, ගැටුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ඉහළම සංයමයකින් කටයුතු කරමින්, යුද තත්ත්වය සමනය කිරීමට වහාම පියවර ගත යුතු බව ඇය ඉල්ලා සිටී. විශේෂයෙන්ම, කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සුරක්ෂිතභාවය සහ ගෞරවය කිසිදු කොන්දේසියකින් තොරව සහතික කළ යුතු බව ඇය තරයේ අවධාරණය කරයි.
ජාත්‍යන්තර ප්‍රජාවේ සහ එක්සත් ජාතීන්ගේ වගකීම
වර්තමාන ගැටුම් හමුවේ ජාත්‍යන්තර මානුෂීය නීතිය අමු අමුවේ උල්ලංඝනය වීම දැඩි කම්පනයට කරුණක් බව පවසන ඇය, එවැනි ක්‍රියා මනුෂ්‍යත්වයට එල්ල කරන බරපතළ තර්ජනයක් ලෙස හෙළා දැකිය යුතු බව කියා සිටී.
“මෙම තීරණාත්මක මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාවට තවදුරටත් නිහඬව බලා සිටිය නොහැක. තවදුරටත් සිදුවන මානව ඛේදවාචකයන් වළක්වා ගැනීමට පැහැදිලි සදාචාරාත්මක මෙන්ම නීතිමය වගකීමක් ලෝකයට ඇත,” යනුවෙන් ඇය පෙන්වා දෙයි.
ගැටුම ස්ථිරවම අවසන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වඩාත් සක්‍රීය සහ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ යුතු බවටද ඇය ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නීය.
සාමය යනු බලහත්කාරයෙන් පැටවිය හැක්කක් නොවේ
සාමය කිසිදා අවි බලයෙන් හෝ පලිගැනීමේ චක්‍රයක් තුළින් ගොඩනැගිය නොහැකි බවත්, එය සංවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම සහ යුක්තිය මත පදනම් විය යුතු බවත් රෝසි සේනානායක මහත්මිය අවසාන වශයෙන් අවධාරණය කරයි.
“මානව ඉතිහාසයේ මෙම තීරණාත්මක මොහොතේ, ලොව පුරා සිටින නායකයින් දේශපාලන සහ ජාතිකත්ව බෙදීම්වලින් ඔබ්බට ගොස්, බලයට වඩා මනුෂ්‍යත්වයත්, ගැටුමට වඩා සාමයත් තෝරා ගැනීමේ ධෛර්යය ප්‍රදර්ශනය කළ යුතුය. අප ගන්නා සෑම තීරණයකම කේන්ද්‍රය විය යුත්තේ වෙන කිසිවක් නොව ‘මනුෂ්‍යත්වයයි’,” යනුවෙන් ඇය සිය ආයාචනය අවසන් කරයි.














