ගල් අඟුරු සැපයුම අවදානමේ. ඉන්දියානු සමාගම ගිවිසුම කඩ කරයිද? අගෝස්තු සිට විදුලි කප්පාදුවක්? ඇත්ත නැත්ත මෙන්න.
ලබන අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව නැවතත් බරපතල විදුලි කප්පාදුවකට හෝ අධික මිලට විදුලිය මිලදී ගැනීමේ අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනතුරු අඟවයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ, පසුගිය දින 10ක කාලයක් තිස්සේ මෙරටට එකදු ගල් අඟුරු නෞකාවක්වත් පැමිණ නොමැති බවත්, එය රටේ බලශක්ති සුරක්ෂිතතාව බරපතල අවදානමකට හෙළා ඇති බවත්ය.
ගිවිසුම කඩ කළ ඉන්දියානු සමාගම
2026 වසර සඳහා ගල් අඟුරු නැව් 25ක් සැපයීමේ ටෙන්ඩරය දිනාගත් ‘ට්‍රයිඩෙන්ට් කෙම්ෆර්’ (Trident Khemfer) නම් ඉන්දියානු සමාගම, ගිවිසුමට අනුව අප්‍රේල් මස අවසානයට පෙර සියලුම නෞකා ගොඩබෑම අවසන් කළ යුතුය. එහෙත්, මේ දක්වා මෙරටට ළඟා වී ඇත්තේ නැව් 13ක් පමණක් බව ජයගොඩ මහතා පෙන්වා දෙයි.
“මාර්තු මාසයේ පළමු සතියේ එක නැවක්වත් පැමිණ නැහැ. දැන් දින දහයකින් පමණ ගල් අඟුරු නැව් පැමිණීම නතර වෙලා. බස්නාහිර මුහුදේ වාරකන් කාලය අප්‍රේල් අගදී ආරම්භ වන නිසා, දැනටමත් ලංකාවේ ගල් අඟුරු සැපයුම අවදානමක තියෙන්නේ,” යැයි ඔහු පැවසීය.
මහජන උපයෝගිතා කොමිසම විසින් පාර්ලිමේන්තු කාරක සභාවකට ලබා දුන් වාර්තාවකට අනුව, අපේක්ෂිත ප්‍රමාණයට වඩා නැව් 5ක් අඩු වුවහොත් පවා අගෝස්තු මාසයේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට හෝ අධික මිලට ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමට සිදුවනු ඇත. වත්මන් තත්ත්වය යටතේ ගොඩබාන නැව් ප්‍රමාණය ඊටත් වඩා අඩු විය හැකි බැවින්, බරපතල බලශක්ති අර්බුදයක අවදානම බැහැර කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.
ටෙන්ඩර් වංචාවක් සහ ඉන්දියානු බලපෑමක්?
පුබුදු ජයගොඩ මහතා චෝදනා කරන්නේ, ආණ්ඩුව ටෙන්ඩර් පිරිවිතරයන් පවා වෙනස් කරමින් මෙම ඉන්දියානු සමාගමට වාසි සලසා දී ඇති බවයි.
“ටෙන්ඩර් කැඳවීම මාස 4ක් ප්‍රමාද කළේ මේ සමාගමට ලියාපදිංචි වෙන්න කාලය දෙන්නද? ටෙන්ඩරය ප්‍රදානය කරන්න නොවැම්බර් මුල වෙනකම් බලා සිටියේ සමාගමට කාර්යසාධක බැඳුම්කරය හොයාගන්න ඉඩ දෙන්නද? කියලා බරපතල සැකයක් මතුවෙනවා,” ඔහු ප්‍රශ්න කළේය.
මෙම සමාගම ගෙනා පළමු ගල් අඟුරු තොගයම ප්‍රමිතියෙන් තොර බවට වාර්තා වුවද, බලශක්ති අමාත්‍යවරයා සමාගම ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවත්, නැව් කිහිපයක්ම ප්‍රමිතියෙන් තොර වුවද ටෙන්ඩරය අවලංගු නොකළ බවත් ඔහු චෝදනා කළේය.
“මේ පිටුපස විශාල වංචාවක් තිබුණාද? නැතිනම් ලංකාවේ ගල් අඟුරු සැපයුම තමන්ට බාරදෙන ලෙස ඉන්දියාව බලපෑම් කළාද? මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමග හෙළි නොකළ හොර ගිවිසුමක් තිබේද? ආණ්ඩුව මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි,” යැයි ජයගොඩ මහතා පැවසීය.
යුද්ධය මුවාවෙන් සැපයුමෙන් ඉවත් වෙයිද?
සමාගම සැපයුමෙන් ඉවත් වීමට උත්සාහ දරන්නේද යන්න පිළිබඳවද සැකයක් මතුව තිබේ. මෙම සමාගම ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකකට ප්‍රවාහන ගාස්තුව ලෙස ඩොලර් 15ක් පොරොන්දු වී තිබුණද, මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා නැව් ගාස්තු තවත් ඩොලර් 11කින් පමණ ඉහළ ගොස් ඇත. මෙම පිරිවැය වැඩිවීම දරාගත නොහැකිව සමාගම ගිවිසුම කඩ කරමින් සැපයුමෙන් ඉවත් වීමට උත්සාහ කරන්නේ දැයි සොයා බැලිය යුතු බව ජයගොඩ මහතා පෙන්වා දෙයි.
“අන්තිමට මේ හැම පාඩුවකම වන්දිය ගෙවන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයාට. ආණ්ඩුව දැනටමත් දැවිතෙල් සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ අධික මිලට ඩීසල් විදුලිය නිපදවන්නද? මේ අක්‍රමිකතාවල පාඩුව පියවන්න විදුලි බිල වැඩි කරලා ජනතාව මත බර පටවන්න හදනවා නම්, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බව ආණ්ඩුව මතක තියාගන්න ඕන,” යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














