දකුණු කොරියාවේ ප්‍රධාන කොටස් වෙළඳපොළ දර්ශකය වන කොස්පි (Kospi), අද (23) දින 8%ක දැවැන්ත කඩාවැටීමකට ලක්වීමත් සමඟ එරට කොටස් වෙළඳපොළ ක්‍රියාකරු වන කොරියානු එක්ස්චේන්ජ් (Korea Exchange) ආයතනය විසින් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මෙම හදිසි තීරණයත් සමඟ, දේශීය වේලාවෙන් පෙ.ව. 10:31 සිට මිනිත්තු 20ක කාලයක් සඳහා සියලුම ගනුදෙනු නතර කෙරිණි.
සර්කිට් බ්‍රේකර් (Circuit Breaker) යනු කුමක්ද?
මෙලෙස ගනුදෙනු නතර කිරීම “සර්කිට් බ්‍රේකර්” ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමක් ලෙස හැඳින්වේ. එය කොටස් වෙළඳපොළක සිදුවන අධික සහ හදිසි කඩාවැටීම් හෝ ඉහළ යෑම් පාලනය කිරීමට යොදාගන්නා ස්වයංක්‍රීය ආරක්ෂණ පියවරකි. හරියට අපේ නිවෙස්වල විදුලි පරිපථයක හදිසි අවස්ථාවකදී “trip switch” එක ක්‍රියාත්මක වෙනවා වගේ, වෙළඳපොළ සම්පූර්ණයෙන්ම බිඳ වැටීම වැළැක්වීමට සහ ආයෝජකයින්ට තත්ත්වය තක්සේරු කිරීමට සුළු කාලයක් ලබා දීමට මෙය උපකාරී වේ. කොස්පි දර්ශකය 8% හෝ ඊට වැඩි අගයකින් වෙනස් වූ විට මෙම ක්‍රමවේදය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වේ.
මීට අමතරව, අද දිනයේ මීට පෙර “සෙල්-සයිඩ් සයිඩ්කාර්” (sell-side sidecar) නමින් තවත් ආරක්ෂණ පියවරක් ක්‍රියාත්මක කර විනාඩි 5ක් සඳහා කොටස් අලෙවි කිරීම් අත්හිටුවීමටද බලධාරීන් කටයුතු කර තිබිණි.
අර්බුදයට හේතුව මැදපෙරදිග ගින්නද?
මෙම දැවැන්ත කඩාවැටීමට ප්‍රධානතම හේතුව ලෙස විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමයි. මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවා යෑමට පටන් ගෙන තිබේ.
දකුණු කොරියාව යනු මැදපෙරදිග කලාපයෙන් ස්වභාවික වායු මෙන්ම බොරතෙල් ද විශාල වශයෙන් ආනයනය කරන රටකි. එබැවින්, එම කලාපයේ ඇතිවන ඕනෑම අස්ථාවර භාවයක් සහ බලශක්ති මිල ඉහළ යෑමක් දකුණු කොරියානු ආර්ථිකයට සහ එහි සමාගම්වලට සෘජුවම බලපායි. ආයෝජකයින් අතර ඇතිවී තිබෙන මෙම බිය සහ අවිනිශ්චිතතාවය කොටස් වෙළඳපොළේ මෙම කඩාවැටීමට හේතු වී ඇත.
මෙය මෑත කාලයේ දකුණු කොරියානු වෙළඳපොළේ ‘සර්කිට් බ්‍රේකර්’ ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව නොවේ. පසුගිය බදාදා දිනයේදී ද කොස්පි දර්ශකය 12% කින් කඩා වැටීමත් සමඟ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සිදුවිය.














