Home Flash News “රට යුද දඩබිමක් වෙලා” – විමල් වීරවංශගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

“රට යුද දඩබිමක් වෙලා” – විමල් වීරවංශගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

35
0
Share

ඇමෙරිකාව සහ ඉරානය අතර මැදපෙරදිග ඇවිලෙමින් පවතින ගැටුමේ, “තීරණාත්මක අනියම් පාර්ශ්වකරුවෙකු” බවට ශ්‍රී ලංකාව පත්වෙමින් ඇති බවත්, රට ජාත්‍යන්තර යුද උගුලක “දඩබිමක්” වීමේ බරපතල අවදානමක් මතුව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනතාවට වසන් කර අත්සන් තබා ඇති රහස් ආරක්ෂක ගිවිසුම් හේතුවෙන්, ශ්‍රී ලංකාව අද වන විට ස්වාධීන තීරණ ගත නොහැකි, “අත් පා ගැටගැසූ මිනිසෙකු පීනන්නට උත්සාහ කරනවා වැනි” අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.

ඉරාන නැවේ අර්බුදය සහ ඉන්දියාවේ භූමිකාව

මෑතකදී ඉන්දියාවේ පැවති ‘මිලාන් 2026’ නාවික අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටි ඉරාන නාවික යාත්‍රාවට ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපය තුළදී එල්ල වූ ප්‍රහාරය, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව මෙම අර්බුදයට ගොදුරු කිරීම සඳහා “ඉතා සූක්ෂමව” යෙදූ උගුලක් බවට වීරවංශ මහතා චෝදනා කළා.

“ඉන්දියාවේ නිල ආරාධනයෙන් ආපු නැවකට ඇමෙරිකානු සබ්මැරීනයක් පාවිච්චි කරලා ගැහුවා. තමන්ගේ ආරාධනාව මත ආ අමුත්තන්ව අනතුරකට ඇද දැමීම අශීලාචාරයි. මේක ඉතාම සූක්ෂම විදිහට ඉන්දියාව මේ අර්බුදයට ශ්‍රී ලංකාව ගොදුරු කරෙව්වා. මේ තමයි නරකම අසල්වැසියාගෙන් ලැබෙන නරකම අත්දැකීම,” යැයි ඔහු පැවසීය.

ඇමෙරිකානු බලපෑම් සහ රජයේ අසරණකම

ප්‍රහාරයෙන් පසු දෙවන ඉරාන යාත්‍රාව කොළඹ වරායට ගෙන්වා ගැනීම වළක්වන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය සෘජුවම ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කළ බවද මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කළා.

“දෙවෙනි නැව කොළඹට ගෙන්නුවොත් ගුවන් මගින් පහර දෙනවා කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලය කිව්වා. ඒ නිසා තමයි ආරක්ෂක ලේකම්වරයා ‘භාරගන්න බෑ’ කියලා ඉරාන තානාපතිට ලිඛිතව දැනුම් දුන්නේ. පස්සේ ආණ්ඩුවේ මුස්ලිම් දේශපාලඥයන්ගේ පීඩනය මත තමයි ඇමෙරිකාව එක්ක කතා කරලා, නැව ත්‍රිකුණාමලයටත්, පුද්ගලයන් කොළඹටත් ගේන්න එකඟ වුණේ. දැන් රොයිටර් පුවත් සේවය කියනවා, ඒ අයට යන්න දෙන්න එපා කියලා ඇමෙරිකාව බලපෑම් කරනවා කියලා,” වීරවංශ මහතා විස්තර කළා.

ඔහුට අනුව, ශ්‍රී ලංකා රජයට මෙලෙස ස්වාධීන තීරණයක් ගැනීමට නොහැකි වී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව, රට රහස් ගිවිසුම් රැසකින් බැඳී සිටින නිසාය.

SOFA, ACSA, සහ මොන්ටානා: ස්වෛරීත්වය පාවා දුන් ගිවිසුම්?

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව විවිධ ආණ්ඩු යටතේ අත්සන් කර ඇති ගිවිසුම් මගින් ඇමෙරිකානු හමුදාවන්ට මෙරට තුළ විශාල බලයක් ලබා දී ඇති බවයි.

* SOFA (1995) – ඇමෙරිකානු හමුදාවන්ට මෙරටට පැමිණීම නීත්‍යානුකූල කිරීම.

* ACSA (2007, 2017) – මෙරටට පැමිණෙන හමුදාවන්ට භූමිය තුළ සැපයුම් සහ පහසුකම් ලබා දීම. 2017 දී මෙය පිටු 17ක් දක්වා දීර්ඝ කරමින් එහි බලය බෙහෙවින් පුළුල් කළ බව ඔහු චෝදනා කළා.

* මොන්ටානා ගිවිසුම – වත්මන් රජය විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුමෙන් හදිසි ආපදා තත්ත්වයක් මුවාවෙන් ඇමෙරිකානු හමුදාවන්ට මෙරටට “බින්න බහින්නට” ඉඩ සලසා ඇති බව ඔහු පැවසීය.

* ඉන්දියාව සමග රහස් ගිවිසුම් – මීට අමතරව, ඉන්දියාව සමග අත්සන් කර ඇති රහස් ආරක්ෂක ගිවිසුම් 7ක් මගින් ශ්‍රී ලංකාව, ඇමෙරිකාව සමග මිලිටරි ගිවිසුම්වලින් බැඳී සිටින ඉන්දියාව හරහා වක්‍රාකාරව එම බල කඳවුරටම කොටු වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

“අපි රටට නොපෙන්නපු ගිවිසුම් මගින් බැඳිලා. ඒ නිසා දැන් අර අතපය දෙකම ගැටගහ ගත්තු මිනිහෙක් පීනන්න උත්සාහ කරනවා වගේ තත්ත්වයකට ලංකාව රාජ්‍යය ඇදවට්ටලා ඉවරයි,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඊළඟ මිලිටරි තිප්පොළ ශ්‍රී ලංකාවද?

මැදපෙරදිග කලාපයේ සිය හමුදා කඳවුරු අහිමි වෙමින් පවතින ඇමෙරිකාව, ඉන්දියන් සාගරයේ තම මීළඟ විශ්වාසනීය මිලිටරි තිප්පොළ ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බවට මන්ත්‍රීවරයා සැක පළ කළේය. එම්.සී.සී. (MCC) ගිවිසුමේ සැබෑ අරමුණ වූයේද මෙම මිලිටරි උවමනාවන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙරට තුළ ගොඩනැගීම බව ඔහු පැවසීය.

අවසාන වශයෙන්, “ජාතියත්, රාජ්‍යයත් එක්ක සෙල්ලම් කරන්න එපා” යැයි රජයෙන් ඉල්ලා සිටි වීරවංශ මහතා, රටේ ස්වෛරීත්වය පාවා නොදී, මෙම උතුම් රාජ්‍යය සතුරු කඳවුරුවල දඩබිමක් බවට පත්වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටියේය.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here