ඉරානය විසින් අසර්බයිජානයේ නක්චිවාන් (Nakhchivan) කලාපයේ ගුවන් තොටුපළක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවට BBC Verify සේවය විසින් තහවුරු කරන ලද වීඩියෝ දර්ශන මගින් අනාවරණය වෙනවා. නක්චිවාන් යනු ඉරානය සහ ආර්මේනියාවට මායිම්ව පිහිටි අසර්බයිජානයට අයත් ස්වයං පාලන කලාපයකි.
BBC Verify විසින් සමාලෝචනය කරන ලද එක් වීඩියෝවක, නක්චිවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගොඩනැගිල්ලෙන් දුමාරය ඉහළට නගින අයුරුත්, ගිනි නිවන භටයින් ගින්නක් මැඩපැවැත්වීමට උත්සාහ කරන අයුරුත් දැක්වේ.
ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල වීමෙන් පසු එහි රථගාලේ සිට රූගත කරන ලද තවත් වීඩියෝවක, තවත් ඩ්‍රෝන යානයක් කඩා වැටී, ඒ ආසන්නයේ පිහිටි ෂකාර්බාද් (Shakarabad) ගම්මානය අසල පිපිරීමක් ඇති කරන අයුරු සටහන්ව තිබේ. තෙවන වීඩියෝවක, එම ගිනිමය පිපිරීමම වෙනත් කෝණයකින් දැකගත හැකිය.
අසර්බයිජානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයද මෙම ප්‍රහාරය තහවුරු කර තිබේ. ඔවුන් පවසන පරිදි, එක් ඩ්‍රෝන යානයක් ගුවන්තොටුපළේ පර්යන්ත ගොඩනැගිල්ලට පතිත වී ඇති අතර, අනෙක ෂකාර්බාද් හි පාසල් ගොඩනැගිල්ලක් අසලට කඩා වැටී ඇත.
මෙම සිදුවීමෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද එරට විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.














