ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුධමය ක්‍රියාමාර්ග සහ වත්මන් ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය අද (05) නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා.
එහිදී ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව දැඩි විවේචනයක් එල්ල කරමින් අදහස් දැක්වීය. Seylan News හි අපගේ අරමුණ වන්නේ එම අදහස් විකෘති කිරීමකින් තොරව, වාර්තා කිරීමයි.
“යුද්ධය පිටුපස ඇත්තේ ආර්ථික වුවමනාවක්”
නාගමුව මහතා සිය අදහස් දැක්වීම ආරම්භ කරමින්, “ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරමින් යන මේ ම්ලේච්ඡ ප්‍රහාරය අපි ඉතාම පිළිකුල්සහගතව හෙළා දකිනවා,” යි පැවසීය.
මෙය ආගමික යුද්ධයක් ලෙස පෙන්වීමට ඇතැමුන් උත්සාහ කළද, එය පිටුපස ඇත්තේ ඊට වඩා ගැඹුරු ආර්ථික සහ දේශපාලන වුවමනාවක් බව ඔහු පෙන්වා දුන්නේය. “ඉදිරි වසර කිහිපය ඇතුළේ චීනය ලෝක ආර්ථික බලවතා වෙන්න නියමිතයි. අන්න ඒ ආර්ථික නැගීම වැළැක්වීම සඳහා වන උපායමාර්ගයක තමයි ඇමරිකාව මේ ඉන්නේ. ඒ සඳහා ඔවුන්ට අවශ්‍යයි මැදපෙරදිග කලාපයේ භූ දේශපාලන බලය මුළුමනින්ම ඔවුන් අතට ගන්න,” යැයි ඔහු චෝදනා කළේය.
ලෝකයේ දෙවන විශාලතම ස්වාභාවික ගෑස් නිධි සහ විශාල තෙල් නිධි ප්‍රමාණයක් ඉරානය සතු බවත්, එම සම්පත්වල අයිතිය චීනයට හෝ ඇමරිකාවට හිමිවිය යුත්තේ කාටද යන බල අරගලය මෙම යුද්ධයට මුල් වී ඇති බවත් නාගමුව මහතා සඳහන් කළේය.
“ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පාවා දෙන ගිවිසුම්”
මෙම ගෝලීය ගැටුම, ශ්‍රී ලංකාවට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව නාගමුව මහතා විශේෂ අවධානයක් යොමු කළේය. ගාල්ලට ආසන්න මුහුදේදී ඉරාන යුධ නැවකට පහර දුන් ඇමරිකානු සබ්මැරීනය ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූයේද යන්න පිළිබඳව බරපතල සැකයක් මතුව ඇති බව ඔහු පැවසීය.
“ගෝඨාභය රාජපක්ෂලගේ කාලේ, රනිල් වික්‍රමසිංහලගේ කාලේ ‘ඇක්සා’ (ACSA) වගේ භයානක යුධ ගිවිසුම් ඇමරිකාව එක්ක අත්සන් කළා. මේ ආණ්ඩුවත් SPP කියලා අලුත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. මේ යුද ගිවිසුම්වල තියෙන්නේ අපේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය පාවා දෙන වගන්ති. මේවට අනුව, ඇමරිකාව පැටලෙන ඕනෑම යුද්ධයකදී අපි ඔවුන්ට පහසුකම් සලසන්න බැඳිලා ඉන්නවා,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
ඇමරිකානු සබ්මැරීනය ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූයේ නම්, ඒ කෙසේද යන්න වහාම හෙළිදරව් කරන ලෙස ඔහු රජයට බල කර සිටියේය.
“ආණ්ඩුවත්, විපක්ෂයත් දෙකම වගකිව යුතුයි”
වත්මන් රජය ඇමරිකාව හමුවේ “හීලෑ” වී ඇති බවට චෝදනා කළ නාගමුව මහතා, රජයේ “උපක්‍රමශීලී නිහඬතාව” දැඩි ලෙස විවේචනය කළේය.
“ඉරානයට මෙච්චර ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වෙලත් කටක් නොසෙල්වපු ආණ්ඩුව, ඉරානය ප්‍රතිප්‍රහාරයක් විදිහට සෞදියේ ඇමරිකානු කඳවුරුවලට පහර දුන්නම විතරක් නින්දෙන් ඇහැරිලා කණගාටුව ප්‍රකාශ කරනවා. මේකෙන් පැහැදිලියි මේ ආණ්ඩුව කොයි පැත්තේද ඉන්නේ කියලා,” ඔහු පැවසීය.
එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය “කිඹුල් කඳුළු” හෙලන බවත්, ‘ඇක්සා’ වැනි ගිවිසුම් අත්සන් කළ රාජපක්ෂ සහ වික්‍රමසිංහ ආණ්ඩුවල කොටස්කරුවන් ලෙස ඔවුන්ද අද පවතින තත්ත්වයට වගකිව යුතු බවත් ඔහු චෝදනා කළේය.
“නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්න”
අවසාන වශයෙන්, මෙම බල අරගලයේදී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශවයකට එක් නොවිය යුතු බවත්, දැඩි නොබැඳි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවත් ජන අරගල සන්ධානයේ ස්ථාවරය බව ඔහු අවධාරණය කළේය.
“ඒ කියන්නේ අධිරාජ්‍යවාදී රටවල් කරන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අනුමත කරන එක නෙවෙයි. මේ ජන ඝාතක, ම්ලේච්ඡ යුද්ධය ගැන අපි අනිවාර්යයෙන් අපේ අප්‍රසාදය පළ කළ යුතුයි,” යැයි ඔහු පැවසීය. අධිරාජ්‍යවාදී භූ දේශපාලන ප්‍රතිපත්තිවලට මෙන්ම ඉරානයේ ආගමික අන්තවාදයටද එරෙහිව ජාත්‍යන්තර ජනතා සහයෝගිතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කළේය.














