ඉරානයට බෝම්බ හෙලීමට මැඩ්රිඩ් නුවර විරුද්ධ වීම හේතුවෙන් දෙරට අතර වෙළඳාම කපා හරින බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරන ලද තර්ජනවලට ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සන්චේස් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
අද (04) උදෑසන රූපවාහිනී දේශනයක් පවත්වමින් සන්චේස් පැවසුවේ තම රජයේ ස්ථාවරය “යුද්ධයට එරෙහියි” යන වචන වලින් සාරාංශගත කළ හැකි බවයි.
2003 ඉරාක ආක්‍රමණය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, එමගින් එහි අරමුණු ඉටු නොවූ බවත්, අනාරක්ෂිත බවක් නිර්මාණය කරමින් බොහෝ මිනිසුන්ගේ ජීවිත වඩාත් නරක අතට හැරවූ බවත්ය. “අතීතයේ සිදු වූ වැරදි” නැවත සිදු නොකළ යුතු බවට ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.
ඉරානයට එල්ල කරන ප්‍රහාර මිලියන සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවට ඉරාක ආක්‍රමණයට සමාන ආර්ථික බලපෑමක් ඇති කළ හැකි බවත්, එයට එරෙහිව කටයුතු කිරීමට රජය මේ වන විටත් ක්‍රියාමාර්ග සලකා බලමින් සිටින බවත් සන්චේස් පැවසීය.
ඉරානයට පහර දීම සඳහා එක්සත් ජනපදයට තම හමුදා කඳවුරු භාවිතා කිරීමට සන්චේස් ඉඩ නොදීමෙන් පසුව, ඊයේ දිනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ස්පාඤ්ඤය සමඟ “සියලු සබඳතා කපා හරින” බවට පොරොන්දු වූ අතර, එම රට “භයානක” (terrible) එකක් ලෙස විස්තර කළේය.
ඇමරිකාව ප්‍රමුඛ ප්‍රහාර “යුක්ති සහගත නොවන සහ භයානක හමුදාමය මැදිහත්වීමක්” ලෙස ස්පාඤ්ඤ රජය මීට පෙර හඳුන්වා දී තිබුණි.














