රටේ තෙල් හිඟයක් ඇත්තටම තියෙනවද? QR ක්‍රමය ආයෙත් එනවද? තෙල් සංස්ථා සභාපතිගේ සම්පූර්ණ ප්‍රකාශය මෙන්න.
පසුගිය දින කිහිපයේදී දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල නැවතත් දිගු පෝලිම් නිර්මාණය වීමත් සමග ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු අවධාරණය කරන්නේ රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත්, වත්මන් තත්ත්වය අනවශ්‍ය ලෙස ඇති කරගත් කලබලයක් බවත්ය.
“QR අවශ්‍ය වන්නේ තෙල් හිඟයකටයි”
සභාපතිවරයා පැහැදිලිවම කියා සිටියේ QR ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීමේ කිසිදු සූදානමක් මේ මොහොතේ නොමැති බවයි. “QR ක්‍රමවේදය යොදාගන්නේ රටේ තෙල් හිඟයක් පවතින අවස්ථාවක සැපයුම සීමා කරන්න. මේ වන විට අප සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත තිබෙනවා. ඒ නිසා QR ක්‍රමවේදයක අවශ්‍යතාවයක් නැහැ,” යැයි ඔහු පැවසීය.
කෙසේ වෙතත්, යම් හෙයකින් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පාලනය කරගත නොහැකි තත්ත්වයක් උදා වුවහොත්, ඕනෑම අවස්ථාවක QR ක්‍රමය නැවත භාවිතයට ගැනීමට සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
දෛනික බෙදාහැරීම සාමාන්‍ය පරිදි
රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවට තහවුරු කරමින් සභාපතිවරයා දෛනික බෙදාහැරීම් පිළිබඳ දත්ත ද ඉදිරිපත් කළා.
* ඊයේ (01) දිනයේ – ඩීසල් ලීටර් ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් ලක්ෂ 39කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇත.
* අද (02) පෙරවරු 9.45 වන විට:** ඩීසල් ලීටර් ලක්ෂ 29කට අධික ප්‍රමාණයක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් ලක්ෂ 29කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර අවසන්ය.
“අපි අඛණ්ඩව ඉන්ධන නිකුත් කරනවා. ප්‍රමාණවත් තොග තියෙනවා. ඒ නිසා ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගැනීම කනගාටුවට කරුණක්,” යැයි රාජකරුණා මහතා පැවසීය.
නීතිවිරෝධීව තෙල් ගබඩා කරන්නන්ට දැඩි දඬුවම්
නිවෙස් තුළ සහ වෙනත් ස්ථානවල බලපත්‍ර නොමැතිව ඉන්ධන තොග රැස්කර තබා ගැනීම නීති විරෝධී මෙන්ම අතිශය භයානක ක්‍රියාවක් බව අවධාරණය කළ සභාපතිවරයා, එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට අනතුරු ඇඟවීය.
මේ වන විටත් පොලීසිය විසින් එවැනි වැටලීම් කිහිපයක් සිදු කර පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු හෙළි කළේය. නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරන පුද්ගලයන් පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් වහාම පොලීසියට දැනුම් දෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.














