Home Flash News අකුරේගොඩ වෙඩි තැබීම – කණ්ඩායම් 12ක් පරීක්ෂණ අරඹයි

අකුරේගොඩ වෙඩි තැබීම – කණ්ඩායම් 12ක් පරීක්ෂණ අරඹයි

25
0
Share

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා පොලිස් කණ්ඩායම් 12ක් යොදවා ඇති බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසනවා.

අද (20) පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

මාධ්‍ය ප්‍රචාර සහ පොලීසියේ ස්ථාවරය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මෙම සිදුවීමට අදාළව ඝාතනයට ලක්වූ නීතිඥවරයා සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු පිළිබඳවද අදහස් දැක්වීය.

“නීතිඥවරයා සම්බන්ධයෙන් කිසිම දෙයක් පොලීසියක් විදිහට අපි නිවේදනය කරලා නැහැ. ඇතැම් කරුණු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වුණා. අපි 100%ක්ම ඒ කරුණු අනුමත කරන්නේ හෝ බැහැර කරන්නේ නැහැ,” යැයි ඔහු පැවසීය.

මෙම විමර්ශනය ඉතා සංවේදී එකක් බව අවධාරණය කළ ඒ මහතා, මේ වන විටත් පරීක්ෂණ කටයුතු සැලකිය යුතු දුරකට සිදුකර ඇති බවත්, විමර්ශනවලට බාධාවක් විය හැකි කරුණු මාධ්‍යයට හෙළි කළ නොහැකි බවත් කියා සිටියේය.

විමර්ශන දිශාව ගැන ඉඟියක්

නීතිඥවරයෙකුට ඕනෑම ආකාරයක අපරාධකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිමය අයිතියක් ඇති බව සිහිපත් කළ සජීව මැදවත්ත මහතා, ඝාතනයට ලක්වූ නීතිඥවරයා පෙනී සිටි නඩු සම්බන්ධයෙන් මේ මොහොතේම විමර්ශනයක් ආරම්භ කර නොමැති බවද සඳහන් කළේය.

“අපිට ඍජුව කියන්න බැහැ, මේ නීතිඥවරයා අහවල් සැකකරු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් පොලිසිය දැනට විමර්ශනය කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් අපිට අවධානය යොමු කරන්න වෙන්නේ, මේ මූලික විමර්ශනය අවසන් කරලා සැකකරුවන් අත්අඩංගුවට ගත්තයින් පස්සේ,” යැයි ඔහු පැවසීය.

ඒ අනුව, පොලීසියේ මූලික අවධානය යොමුවී ඇත්තේ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම කෙරෙහි බවත්, ඉන් අනතුරුව සිද්ධියට හේතුව සහ ඊට සම්බන්ධ විය හැකි වෙනත් කරුණු පිළිබඳව ගැඹුරින් විමර්ශනය කරන බවත් මෙයින් පැහැදිලි වේ.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here