Home එතෙරින් බිඳක් නවල්නිගේ මරණයට හේතුව ගෙඹි විෂක්ද?

නවල්නිගේ මරණයට හේතුව ගෙඹි විෂක්ද?

11
0
Share

රුසියාවේ සිරගතව සිටියදී මියගිය හිටපු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවල්නිගේ මරණය, විෂ ශරීරගත කිරීමකින් සිදුවූ ඝාතනයක් බවට ප්‍රබල යුරෝපීය රටවල් කිහිපයක් විසින් අනාවරණය කර තිබෙනවා. මෙම හෙළිදරව්ව නිසා නවල්නිගේ මරණය සම්බන්ධයෙන් පැවති මතභේදය නැවතත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රබලම විවේචකයෙකු වූ 47 හැවිරිදි නවල්නි, 2024 වසරේ පෙබරවාරි 16 වනදා ආක්ටික් බන්ධනාගාරයක් තුළදී ජීවිතක්ෂයට පත් වුණා. එකල රුසියානු බලධාරීන් ප්‍රකාශ කළේ ඔහු රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බවයි. නමුත් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ආධාරකරුවන් එය ඝාතනයක් බවට දිගින් දිගටම චෝදනා කළා.

මියුනික් ආරක්ෂක සමුළුවේදී කළ හෙළිදරව්ව

මෙම නව අනාවරණය සිදුකර ඇත්තේ මේ දිනවල ජර්මනියේ මියුනික් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව අතරතුරදීය. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය සහ නෙදර්ලන්තය විසින් ඊයේ (14) නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක මේ බව සඳහන් වෙනවා.

එම වාර්තාවට අනුව, නවල්නිගේ ශරීර කොටස්වල තිබී දකුණු ඇමරිකාවට ආවේණික විෂ සහිත ගෙඹි විශේෂයකින් ලබාගන්නා අධි විෂ රසායනික ද්‍රව්‍යයක් හමුවී තිබේ. මෙය, ඔහුගේ මරණය ස්වභාවික හේතූන් මත සිදු නොවූ බවටත්, එය සැලසුම් සහගත විෂ ශරීරගත කිරීමක් බවටත් ප්‍රබල සාක්ෂියක් ලෙස එම රටවල් පෙන්වා දෙයි.

රුසියාවෙන් ක්ෂණික ප්‍රතිචාර

කෙසේ වෙතත්, මෙම නවතම චෝදනාව සම්බන්ධයෙන් ක්ෂණිකව පිළිතුරු ලබා දී ඇති රුසියාව, එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. බටහිර රටවල් විසින් එල්ල කරනු ලබන මෙම චෝදනා පදනම් විරහිත සහ දේශපාලනිකව මෙහෙයවූ ඒවා බව රුසියානු රජය පවසයි.

මෙම හෙළිදරව්වත් සමග රුසියාව සහ බටහිර රටවල් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් උණුසුම් වනු ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ මත පළ කරති.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here