Home Flash News ජාතිවාදය පරදා නව රටක් ගොඩනගන්න ජනපතිගෙන් නිදහස් දින ආරාධනාවක්

ජාතිවාදය පරදා නව රටක් ගොඩනගන්න ජනපතිගෙන් නිදහස් දින ආරාධනාවක්

14
0
Share

අධ්‍යාපන විප්ලවයක් සහ නව ශ්‍රී ලංකාවක් – ජනපතිගේ නිදහස් දින දැක්ම විමසුමකට

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “ගොඩනඟමු ශ්‍රී ලංකා” තේමාව යටතේ රටේ අනාගත ගමන් මග පිළිබඳ සිය දැක්ම ඉදිරිපත් කළා. මෙම කතාව හුදෙක් නිදහස් දින ප්‍රකාශයක් පමණක් නොව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක්, ජාතික සමගිය තහවුරු කිරීම සහ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම වැනි කුළුණු මත නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ පුළුල් සැලැස්මක් ලෙස සැලකිය හැකිය.

අධ්‍යාපනයට නව පණක් – පරිවර්තනීය යුගයක ආරම්භය

ජනාධිපතිවරයාගේ කතාවේ වඩාත්ම අවධානයට ලක්වූ එක් කරුණක් වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගත් ඔහුගේ දැක්මයි. “අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමඟ උරින්උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි,” යනුවෙන් ඔහු අවධාරණය කළා.

නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය, සහ බෙදීම වෙනුවට සමගිය පෙරදැරි කරගත් නව මානව සම්පතක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. මේ සඳහා කලාව, සාහිත්‍ය, ඉතිහාසය මෙන්ම නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින්, දැනුමෙන්, සහකම්පනයෙන් හා තෙතමනයෙන් පිරිපුන් පරපුරක් බිහිකළ යුතු බව ඔහුගේ අදහස විය.

“ඒ සඳහා අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සුදානම්,” යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, ඉදිරියේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් අපේක්ෂා කළ හැකි බවට ඉඟියකි.

සමගිය මත ගොඩනැගෙන දේශයක්

ජාතිවාදය සහ අන්තවාදය “අපේ ශබ්ද කෝෂයේ ඇති අවලස්සනම වචන දෙක” ලෙස හඳුන්වමින් ජනාධිපතිවරයා ජාතික සමගියේ ඇති වැදගත්කම දැඩිව අවධාරණය කළේය. “අපි බිඳුනොත් අපේ ශක්තිය දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය නිර්මාණය වුවහොත් අපේ ප්‍රධානතම ශක්තිය දුබල වෙනවා,” යැයි ඔහු පැවසුවා.

රටේ කිසිදු ජාතිවාදයකට හෝ අන්තවාදයකට ඉඩ නොතබන බවට සහතික වෙමින්, සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් යටතේ සියලු දෙනා එක්සත් කිරීම තම අරමුණ බව ඔහු පැහැදිලි කළා.

අතීතයෙන් ඉගෙන ගනිමින් අනාගතය ගොඩනැගීම

සියවස් ගණනාවක් පුරා නිදහස වෙනුවෙන් දිවි පිදූ මුතුන් මිත්තන් ගෞරවයෙන් සිහිපත් කළ ජනාධිපතිවරයා, ඔවුන්ගේ ලෙයින් සහ කඳුළින් මේ මහ පොළොව තෙත් වී ඇති බව සිහිපත් කළේය. එසේ වුවද, නිදහසින් පසු ගතවූ වසර 78ක කාලය දෙස විචාරශීලීව බැලිය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

“අපි කිසිසේත්ම නරක දේ බැහැර කිරීමට පැකිලෙන්නේ නෑ. ඒ වගේම හොඳ දේ උකහා ගන්න බිය වන්නේ නෑ,” යැයි පවසමින්, අතීතයේ සාරවත් දේ මත පදනම්ව, එහෙත් අතීතයේ වූ වැරදි වලින් ඉගෙන ගනිමින් නව ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතු බව ඔහු සඳහන් කළා.

නව ශ්‍රී ලංකාවේ කුළුණු – නීතිය, ආර්ථිකය සහ ජාත්‍යන්තර සබඳතා

“ගොඩනඟමු ශ්‍රී ලංකා” තේමාවට සැබෑ පණක් ලැබෙන්නේ නීතියේ ආධිපත්‍යය නිසි ලෙස තහවුරු කිරීමෙන් බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබෙනවා. ඊට අමතරව, ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තරය තුළ ගෞරවනීය රාජ්‍යයක් බවට පත්කිරීම සහ ශක්තිමත්, නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීම ද නව රාජ්‍යයේ ප්‍රධාන කුළුණු ලෙස ඔහු හඳුනාගත්තේය. “නිදහස පූර්ණ නිදහසක් බවට පරිවර්තනය වන්නේ, අපි මොන තරම් ප්‍රමාණයකට ආර්ථික වශයෙන් ශක්තිමත් ද යන සාධකය මතයි,” යනුවෙන් ඔහු පැවසීමෙන් ආර්ථික ස්වාධීනත්වයේ වැදගත්කම පැහැදිලි වෙනවා.

අවසානයේදී අප්‍රිකානු හිතෝපදේශයක් උපුටා දක්වමින් ඔහු සිය කතාව නිමා කළේය: “ඔබට වේගයෙන් යන්න අවශ්‍ය නම් තනියම යන්න… ඔබට වැඩිදුරක් යෑමට අවශ්‍ය නම් එකට යන්න. අපිට අවශ්‍යව තිබෙන්නේ සෑම ක්ෂේත්‍රයකම වැඩි දුරක් යන්න… ඒ වැඩි දුර යන්න එකට යමු කියලා ආරාධනා කරනවා.” එය, ඉදිරි අභියෝග ජයගැනීම සඳහා වන සාමූහිකත්වයේ ආරාධනයක් විය.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here