Home Flash News කොළඹ නිදහස සමරද්දී, කදුකර ජනතාව අරගලයක

කොළඹ නිදහස සමරද්දී, කදුකර ජනතාව අරගලයක

49
0
Share

“අවුරුදු 203ක ලේ, කඳුළු, දහදිය” – ඉඩම් සහ ගෞරවය ඉල්ලා මලෛයහ ජනතා අරගලය

කොළඹ අගනුවර ජාතික නිදහස් දින උත්සවයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන්, හැටන් නගරය කේන්ද්‍ර කරගනිමින් වෙනස්ම ආකාරයේ නිදහස් අරගලයක හඬක් නැගෙමින් තිබෙනවා. කදුකර දෙමළ ජනතාවගේ ඉඩම්, නිවාස, මාසික වැටුප සහ පුරවැසි අයිතිය දිනා ගැනීමට අත් නොහැර සටන් වදිමු!” යන තේමාව යටතේ, සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්‍යාපාරය සහ සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කළ ජනතා සමුළුව, දශක ගණනාවක් පුරා යටපත් වූ ඉල්ලීම් සහ වේදනාවන් යළි කරළියට ගෙන ආවා.

අවුරුදු 203ක සූරාකෑම

සමුළුව අමතමින් සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්ද්‍රානන්ද ද සිල්වා අවධාරණය කළේ, වතු සමාගම් උපයන කෝටි ගණන් ලාභය යනු අන් කිසිවක් නොව, වතු කම්කරුවන්ගේ “ලේ, කඳුළු සහ දහදිය” බවයි. “අත්වල කරගැට එනකල් අවුරුදු 203ක් තේ දලු කඩමින් කඹුරපු එකේ වන්දියවත් වතු කම්කරුවන්ට ලැබිලා නැහැ,” යනුවෙන් ඔහු පැවසුවේ පරම්පරා ගණනාවක් පුරා සිදුවන ශ්‍රම සූරාකෑමේ කටුක යථාර්ථය සිහිපත් කරමිනි.

ඉපදෙන සෑම මිනිසෙකුටම හිමිවිය යුතු මූලික අයිතියක් වන ඉඩමක් සහ නිවසක්, රටේ ආර්ථිකයට ඩොලර් උපයා දෙන ප්‍රධාන පාර්ශ්වයක් වන මලෛයහ ජනතාවට අහිමි කර ඇති බවත්, වතු සමාගම් ඔවුන්ගේ එම අයිතිය මංකොල්ලකමින් ලාභ ලබන බවත් ඔහු චෝදනා කළා.

බොල් පොරොන්දු සහ දේශපාලන රැවටීම

මෙම අසාධාරණයට වතු සමාගම් මෙන්ම, දශක හතක් පුරා බලයට පත් වූ සිංහල සහ දෙමළ පාලකයින් ද එකසේ වගකිව යුතු බව සමුළුවේදී ප්‍රකාශ වුණා. “බොරු පොරොන්දු දීලා බලය අරගෙන මලෛයහ තමිල් ජනතාවගේ ඉල්ලීම් කුණු කූඩයට දාපු තොණ්ඩමන්ලා ඇතුළු මේ රටේ පාලකයන්ගේ බොරු පොරොන්දුවලට තවදුරටත් අපි රැවටෙන්නෙ නැහැ,” යනුවෙන් ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පැවසුවේ ජනතාවගේ දේශපාලන නියෝජිතයන් කෙරෙහි ඇති කලකිරීම ප්‍රකාශ කරමිනි.

ඔහුට අනුව, පාර්ලිමේන්තුව නියෝජනය කළ කිසිවෙකු මලෛයහ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැබෑ මැදිහත්වීමක් සිදු කර නැති අතර, සිදු කර ඇත්තේ “වතු හාම්පුත්තුන්ගේ සපත්තු ලෙවකෑම” පමණි.

වත්මන් අර්බුද සහ අසාධාරණය

අතීත සූරාකෑමට අමතරව, වර්තමානයේ ද මලෛයහ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්විය. මෑතකදී ඇතිවූ ‘දිට්වා’ වැනි ස්වභාවික විපත්වලින් වැඩිම බලපෑමක් එල්ල වූයේ ඔවුන්ට බවත්, නාය ගිය නිවාස සහ පාසල් වෙනුවට තවමත් නිසි විසඳුම් නොලැබී, අවදානම් කලාපවලම නැවත පදිංචි වීමට සිදුවී ඇති බවත් පෙන්වා දෙන ලදී.

රටේ ඉහළම දරිද්‍රතාව, ළමා මන්දපෝෂණය, සෞඛ්‍ය ගැටලු සහ අඩුම සාක්ෂරතාවය වතුකරයේ වාර්තා වීමට හේතුව කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය. ස්ථිර ලිපිනයක් නොමැති වීම නිසා සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමේදී පවා මෙම ජනතාව බරපතළ අසාධාරණයකට ලක්වන බව ද අනාවරණය විය.

අරගලයේ ඉල්ලීම් සහ ඉදිරි දැක්ම

මෙම සමුළුව හුදෙක් විවේචනයකට සීමා නොවී, ඉදිරි අරගලයේ ඉල්ලීම් සහ දැක්ම ද පැහැදිලිව ඉදිරිපත් කළා.

1. ජාතික ප්‍රජාවක් ලෙස පිළිගැනීම – අවුරුදු 203ක් පුරා මෙරට සිටින, වෙනම අනන්‍යතාවක් සහිත “මලෛයහ තමිල්” ජනතාව වෙනම ජාතික ප්‍රජාවක් ලෙස පිළිගැනීම.

2. ඉඩම් සහ නිවාස අයිතිය – ලයින් කාමර වෙනුවට, අවම වශයෙන් පර්චස් 20ක ඉඩමක් සහිත නිවසක් සෑම පවුලකටම ලබාදීම.

3. අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් – වතුකරයේ දරුවන්ට පහසුකම් සහිත පාසල් පද්ධතියක් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම.

4. ස්ථිර මාසික වැටුපක් – අනෙකුත් වැඩකරන ජනතාවට හිමිවන අයිතිවාසිකම් සහ ස්ථිර මාසික වැටුපක් වතු කම්කරුවන්ට ද ලබාදීම.

මෙම ඉල්ලීම් සටනකින් තොරව දිනාගත නොහැකි බව අවධාරණය කළ කථිකයා, “මේ අරගලය තනි විය යුතු නැහැ. ඒ අරගලය වටා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එකතු විය යුතුයි,” යනුවෙන් ප්‍රකාශ කරමින්, එය සමස්ත ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවගේ පොදු අරගලයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here