අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධයෙන් නිව්යෝර්ක් හිදී අධි චෝදනා ගොනු කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ, නීතිවිරෝධී ආයුධ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම යන බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා.
ප්‍රහාරය සහ අත්අඩංගුවට ගැනීම
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත අද (03) අලුයම වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල වුණා. ඉන් අනතුරුව අමෙරිකානු හමුදාවේ ‘ඩෙල්ටා බළකාය’ විසින් ජනාධිපති මදුරෝ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුවත සනාථ කරමින් ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බවයි.
ජාත්‍යන්තර ප්‍රතිචාර
* වෙනිසියුලාව – එරට ආරක්ෂක අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදාව කැඳවා ඇති අතර උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ජනාධිපතිවරයාගේ ජීවිතය පිළිබඳ සාක්ෂි ඉල්ලා සිටිනවා.
* කොලොම්බියාව –
සරණාගතයින් පැමිණීමේ අවදානම හේතුවෙන් දේශසීමා අසල හමුදාව යෙදවීමට කටයුතු කර තිබෙනවා.
* ලෝක බලවතුන් – රුසියාව සහ ඉරානය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර වෙනිසියුලාව මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලා තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කළේ ජනාධිපතිවරයා අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් ප්‍රහාර දියත් කිරීමේ අරමුණක් නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමඟ කලාපීය දේශපාලන තත්ත්වය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.











