ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා අංශය තුළ බරපතල පරිපාලනමය අක්‍රමිකතාවයක් සහ දේශපාලන ඇඟිලිගැසීමක් සිදුව ඇති බවට චෝදනා එල්ල වෙනවා. රෝහලේ භෞතචිකිත්සක අංශයේ වසර 24 ක දීර්ඝ සේවා කාලයක් සහිත පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ භෞතචිකිත්සකවරියගේ, ජ්‍යෙෂ්ඨතාවය සහ වෘත්තීය සුදුසුකම් සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් කනිෂ්ඨ නිලධාරියෙකු අංශ ප්‍රධාන (Incharge) තනතුරට පත්කර තිබෙනවා.
විශ්‍රාම යාමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සහ අලුත් තනතුර
2025 අගෝස්තු 19 වන දින හිටපු ප්‍රධාන භෞතචිකිත්සකවරයා (Chief Physiotherapist) විශ්‍රාම යාමෙන් පසු, සම්මුඛ පරීක්ෂණයක් පවත්වා නිත්‍යානුකූලව පත්වීම ලබා දෙන තෙක් සේවය කරගෙන යන ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරිනියට රෝහල් පරිපාලනය දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ. නමුත් පසුව “Chief Physiotherapist” තනතුර වෙනුවට “Incharge” ලෙස නව තනතුරක් නිර්මාණය කරමින් 3 වන ශ්‍රේණියේ පසුවන කනිෂ්ඨ නිලධාරියෙකු වන K.A.K.M. කොඩිතුවක්කු නැමැත්තා එම තනතුරට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචිය පිළිබඳ ගැටලුව
චෝදනා එල්ල වන අදාළ නිලධාරියාගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචිය (Reg No: 792) 2025.03.31 දිනට පෙර යාවත්කාලීන (renew) කර නොමැති බවත්, නිසි ලියාපදිංචියක් නොමැතිව රෝගී සත්කාරක සේවාවල නිරත වීම වෘත්තීය මට්ටමින් බරපතල වරදක් බවත් අප කළ සොයා බැලීමකදී වාර්තා වුණා.
මේ පිළිබඳව පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව (PHSRC) මගින් ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා වෙත වැඩිදුර විමර්ශන සඳහා ලිඛිතව යොමුකර ඇති බව සඳහන්.
නෛතික සහ රාජ්‍ය ආයතනික පියවර
සිදුවූ මෙම අසාධාරණය සම්බන්ධයෙන් ඇය පහත ආයතන වෙත දැනටමත් නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇත.
* සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශය
* ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (පැමිණිලි අංක: HRC/HO/424/2026)
* ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC)
* කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය
සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී, දේශපාලන වෘත්තීය සමිති බලපෑම් මත මෙවැනි අත්තනෝමතික පත්වීම් සිදු කිරීම තුළින් රෝහල් පරිපාලනය මෙන්ම රෝගී සත්කාරක සේවාවන් ද දැඩි ලෙස අඩාල වන බව පරිපූරක වෘත්තිකයෝ පෙන්වා දෙති.














