“අපේ රජයක් යටතේ වෙළඳ මාෆියාව සහමුලින්ම නැති කරනවා! ජනතාව සූරාකන මෝල් හිමියන්ට, අතරමැදියන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා.” මතකද මේ කෑගැසීම්? එදා විපක්ෂයේ වේදිකාවල මයික්‍රෆෝන පවා පැලෙන්නට කෑගැසූ වසන්ත සමරසිංහ අද මෙරටේ වෙළඳ ඇමතිවරයාය. එදා වේදිකාව දෙවනත් කරමින් ජනතාවට බලාපොරොත්තු දුන් ඒ “සුපිරි වීරයා” අද කොහේද? ඇමති පුටුවේ වාඩි වූ සැනින් එදා තිබූ සිංහ නාද අද පූස් පැටවෙකුගේ කෙඳිරිල්ලක් බවට පත්වී ඇත්දැයි ජනතාවට සාධාරණ සැකයක් මතුවේ. වත්මන් රජය බලයට පත්වී දැන් වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, පොදු මහජනතාවට අසන්නට ඇත්තේ එකම එක ප්‍රශ්නයකි; “කෝ වසන්ත සමරසිංහ ඇමතිවරයා නිදිද?”
ජනතාව මෙවැනි ප්‍රශ්නයක් අසන්නේ නිකම්ම නොවේ. ඊට බලපාන සැබෑ, අමිහිරි හේතුවක් වෙළඳපොළ තුළ නිර්මාණය වී ඇත. ඒ වෙන කිසිවක් නොව, එදා නැති කරනවා යැයි කියූ “වෙළඳපොළ මාෆියාව” අදටත් වඩාත් ප්‍රබලව ක්‍රියාත්මක වීමයි.
විශේෂයෙන්ම මෙරට බහුතරයකගේ ප්‍රධාන ආහාරය වන සහල් මිල ගණන් දෙස බැලීමේදී මේ බව මනාව පැහැදිලි වේ. ආණ්ඩුව පාලන මිල පැනවුවද, වෙළෙන්දන් සහල් අලෙවි කරන්නේ තමන්ට හිතු හිතු ගණන්වලටය. පාරිභෝගිකයා සුපුරුදු පරිදි අසරණ වී සිටින අතර, මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ අතරමැදි ජාවාරම්කරුවන් තවමත් වෙළඳපොළ තීරණය කරන “නොනිල ඇමතිවරුන්” බවට පත්ව ඇත. එදා වේදිකාවල “පන්පොරි” ගසමින්, මාෆියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ ඇමතිවරයා, අද බලය අතට ලැබී තිබියදීත් මේ සියල්ල දෙස දෑස් පියාගෙන සිටින්නේ මන්ද යන්න ප්‍රහේලිකාවකි. බලයට පත්වීමට පෙර තිබූ ජනතා හිතවාදී වේගය, බලය ලැබුණු පසු මන්දගාමී වී ඇත්තේ ඇයි?
දේශපාලන වේදිකාවල ඡන්දය ඉල්ලා කෑගැසීමත්, ඇමති ධුරයක වගකීම දරමින් ප්‍රායෝගිකව වැඩ පෙන්වීමත් යනු අහසට පොළොව මෙන් වෙනස් කාරණා දෙකක් බව දැන් වසන්ත සමරසිංහ ඇමතිවරයා තේරුම් ගත යුතුය. රජයකට වසර දෙකක් යනු ප්‍රතිපත්තිමය වෙනස්කම් කර වෙළඳපොළ ස්ථාවර කිරීමට හොඳටම ප්‍රමාණවත් කාලයකි.
තවදුරටත් පැරණි සාටෝප කතාවලින් සහ නිදහසට කරුණුවලින් ජනතාව රැවටිය නොහැක. ජනතාවට අවශ්‍ය වන්නේ මාධ්‍ය සංදර්ශන නොව, සාධාරණ මිලකට බඩු මිලදී ගත හැකි සහනදායී වෙළඳපොළකි. එබැවින්, වෙළඳ ඇමතිවරයා වහාම සිය “දේශපාලන නිද්‍රාවෙන්” අවදි විය යුතුය. තමන් එදා දුන් පොරොන්දු ඉටු කරමින්, හිතු හිතු ගණන්වලට බඩු විකුණන වෙළඳ මාෆියාවට තිත තැබීමට කෙලින් හිටගන්නා ක්‍රියාමාර්ග ගැනීමට දැන්වත් ඇමතිවරයාට පුළුවන් විය යුතුය. නැතහොත් ඉතිහාසයේ අනෙක් ඇමතිවරුන් මෙන්ම වසන්ත සමරසිංහ යනුද තවත් එක “කතන්දරකාරයෙක්” පමණක් බව ජනතාව ලියා තබනු ඇත.














