15 හැවිරිදි බාලවයස්කාර දැරියක දුෂණය කළ බවට චෝදනා ලබා සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන් සහ දුෂණයට ලක්වු දැරියගේ මව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා නිට්ටඹුව පොලිසියට අද (08) නියෝග කළා.
සැකකාර පල්ලේගම හේමරත්න හිමියන්ට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තහනම් නියෝගයක් ද නිකුත් කෙරිණ. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කලේ, හිමිනමක හා තවත් සැකකරුවන් දෙදෙනෙකු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතල ලෙස දුෂණය කිරීමේ සිද්ධියට සබැදිව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරණ නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ මහත්මියගේ උපදෙස් මත කැදවා එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න මහත්මිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න මහත්මිය පැවසුවේ මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන පල්ලේගම හේමරතන නැමැති හිමිනම මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ වාචිකව පොලිසියෙන් විමසීම් කළ බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබදව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිරන්තර විමසිල්ලෙන් පසුවු බවද නීතීඥවරිය පැවසුවාය. ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ එම විමසීම් වලට පොලිසිය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අගතියට පත් දැරියට යුක්තිය ඉටුකරවා දීම පිණිස මෝසමක් මගින් මෙම නඩුව කැදවා කරුණු දැක්වීමට තීරණය කළ බවද සදහන් කලාය. මෙම අපරාධයේ සැකකරුවෙකු ලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව සැකකාරියක ලෙස නම් කිරීමට අධිකරණයේ අවසරය ලබාදෙන ලෙසද අයැද සිටි නීතීඥවරිය ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියාය. සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද නීතීඥවරිය අධිකරණයෙන අයැද සිටියාය.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න මහත්මිය අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා නිට්ටඹුව පොලිසියට සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව මෙම අපරාධයේ සැකකරුවන් ලෙස නම් කරන ලෙසයි. ඊට අධිකරණයේ අවසරය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබාදුන්නේය. ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නිට්ටඹුව පොලිසියට නියෝග කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කලේය. පැමිනිල්ල වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, එම අධිකාරියේ නීතීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න සහ සහකාර අධ්‍යක්ෂ නීතීඥ හන්සි හලංගොඩ යන මහත්මීන් පෙනී සිටියාය.
මෙම අපරාධය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සිය මුල් බී වාර්ව මගින් කරුණු දැක්වුයේද එම නඩුව මෝසමක් මගින් යළි කැදවා කරුනු දැක්වුයේ ද ජාතික ළමාරක්ෂක අධිකාරිය අද (08) මෝසමක් මගින් යලි කැදවා කරුනු දැක්වුයේද විවෘත අධිකරණයේ නොව මහේස්ත්‍රාත් නිල මැදිරිය තුලදීය.
මේ අතර, අනුරාධපුර පුදබිමේ පිහිටි ප්‍රධාන විහාරිස්ථානයක විහාරාධිපති හිමිනමක, ව්‍යාපාරිකයෙකු සහ කොන්දොස්තරවරයෙකු අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතල ලෙස දූෂණය සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාල නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂණවරයා වෙත ඩීඑන්ඒ පරීක්ෂණයක් සදහා යවා එකී ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට මෙයට පෙර නියෝග කලේය. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කලේ ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ උපදෙස් මත නිට්ටඹුව පොලිස්යේ ස්ථානාධිපතිවරයා 22424/2026 බී අංක දරණ නඩුව මෝසමක් මගින් කැදවා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි. මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙම අපරාධමය සිද්ධියට අදාලව නඩු භාණ්ඩ ලෙස නම්කොට රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට මෙසේ අධිකරණ නියෝග ලබා දී ඇත්තේ දූෂණයට ලක්වී ඇති බව කියන 15 හැවිරිදි දැරියගේ රුධිරය තැවරුණු ඇදුම් කිහිපයක්ය. මෙම අපරාධයෙන් අනතුරුව එම ඇදුම් දැරියගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදී ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් සොයා ගැනිණ.
මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අප්‍රේල් මස 27 වැනි දින ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය ප්‍රකාශ කොට ඇත්තේ ලද තොරතුරකට අනුව, සිදුකළ සෝදිසි කිරීමකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක තම පෙම්වතා බව කියන පිරිමි පුද්ගලයෙකු සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් බවයි. මෙම 15 හැවිරිදි බාල වයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගත් බවද අධිකරණයට දැනුම් දී ඇති ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය, අනතුරුව පොලිස් භාරයට ගත් බාලවයස්කාර දැරිය ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළ බවද ප්‍රකාශ කර ඇති, ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මෑත දින කිහිපයකදි සහ මෙයට පෙර අවස්ථා කිහිපයකදීද දැරිය ස්ත්‍රී දුෂණයට ලක්ව ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ස්වකීය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු කර ඇති බවද දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම අපරාධය පිළිබදව වින්දිත 15 හැවිරිදි බාල වයස්කාර දැරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බවද අධිකරණයට සැල කර ඇති කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය, තමන්ව මුලින්ම දූෂණය කලේ අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බව එකී ප්‍රශ්න කිරීම් වලදී දැරිය ප්‍රකාශ කර ඇති බවද පවසා තිබේ. අනතුරුව දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු තුන්වෙනුව තම පෙම්වතා තමන්ව දූෂණය කළ බව ද දැරිය ප්‍රශ්න කිරීම් වලදී තවදුරටත් ප්‍රකාශ කර ඇති බවද අධිකරණයට දැනුම් දී ඇති ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මෙම අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවත්, එකී විමර්ශන වල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බවත් දැනුම් දී තිබේ.
මේ අතර, මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන තංගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා සහ ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් අනුරාධපුරයට පැමිණ දින කිහිපයක් අනුරාධපුරයේ රැඳී සිටිමින් මෙම අපරාධයට සම්බන්ධ බවට දැරියගේ ප්‍රකාශ වලට අනුව සැක කෙරෙන විහාරාධිපති හිමිනම වැඩ සිටින අනුරාධපුර පුදබිමේ පිහිටි අදාල ප්‍රධාන විහාරස්ථානයට ගොස් උන්වහන්සේගෙන් පැය 3 කට අධික කාලයක් දීර්ඝව ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන ඇත. විහාරාධිපති හිමියන් මෙම අපරාධය සිදුකල බව කියන විහාරස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සඳහා දැරියද එම ස්ථානයට රැගෙන විත් විමර්ශනයක් සිදු කොට තිබේ. ඊට අමතරව, විමර්ශන වලට අදාලව ත්‍රී රෝද රථ රියදුරන් ඇතුළුව තවත් පාර්ශ්ව කිහිපයකින්ද විශේෂ විමර්ශන පොලිස් කණ්ඩායම ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. විහාරාධිපති හිමිනම මුලින්ම තමාව දුෂණය කිරීමෙන් අනතුරුව රුධිරය තැවරුණ ඇදුම් තමන් වළ දැමු බවද දැරිය සිය ප්‍රකාශ මගින් පොලිසියට දැනුම්දී ඇති අතර, එකී ප්‍රකාශ ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වළදමා තිබියදී සොයා ගැනුන රුධිරය තැවරුණ දැරියගේ ඇදුම් කිහිපයක් විමර්ශන පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. දැරියගේ පියා සහ මව අදාල විහාරාධිපති හිමියන්ගෙන් වරින් වරින විශාල මුදලක් ලබාදෙන තම 15 හැවිරිදි බාල වයස්කාර දියණිය එම හිමියන්ට ලබාදී ඇති බවද මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත. මෙම අපරාධය සම්බන්ධයෙන ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට 22424/2026 අංක දරණ බී වාර්තාව මගින් කරුණු වාර්තා කර ඇත්තේ 1995 අංක 22 දරණ පනතින් සංශෝධිත ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364(2) සහ 365(ආ)(2)(ආ) වගන්ති ප්‍රකාරවය.














