Home Flash News “කෝටි 6ක් මහින්දට, කෝටි 2ක් ප්‍රියංකරට දුන්නා” – එයාර්බස් අල්ලස් මුදල් බෙදී...

“කෝටි 6ක් මහින්දට, කෝටි 2ක් ප්‍රියංකරට දුන්නා” – එයාර්බස් අල්ලස් මුදල් බෙදී ගිය හැටි

29
0
Share

එයාර්බස් අල්ලස් මුදල් බෙදී ගිය හැටි කපිල චන්ද්‍රසේන හෙළිකරයි. මහින්ද, ප්‍රියංකර, ශමින්ද්‍ර ඇතුළු ප්‍රබලයින්ගේ නම් අධිකරණයේදී කියවේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළව ලැබුණු අල්ලස් මුදල්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඇතුළු පිරිසක් අතර බෙදී ගිය ආකාරය පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් හෙළිකර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම හෙළිදරව්වත් සමග, දූෂණ විරෝධී පනත යටතේ සැකකාර කපිල චන්ද්‍රසේන ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

මුදල් බෙදී ගිය හැටි

අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව, සැකකාර කපිල චන්ද්‍රසේන විසින් පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ,

* 2015 වසරේදී, රුපියල් කෝටි දෙක බැගින් අවස්ථා තුනකදී රුපියල් කෝටි හයක මුදලක් බෙලිඅත්ත සහ කාල්ටන් නිවෙස්වලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදලින්ම ලබා දුන් බව.

* රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලුපිටියේදී හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට මුදලින්ම ලබා දුන් බව.

* මෙම අල්ලස් මුදලින් කොටසක් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත්, ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමට ද යොමු වී ඇති බව.

මෙම මුදල් ලබා දුන් ස්ථාන සහ ලිපිනයන් පවා සැකකරු විසින් විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

අධිකරණයේදී උණුසුම් වූ තර්ක විතර්ක

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය අතර උණුසුම් වාද-ප්‍රතිවාද ඇති විය.

සැකකරුගේ නීතිඥයින්ගේ චෝදනාව

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා චෝදනා කළේ, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තම සේවාදායකයා පෞද්ගලිකව කාමරයකට ගෙන්වා, “කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක කෙනෙක් එල්ලිලා මැරුණා වගේ ඔයාටත් එල්ලිලා මැරෙන්න වෙයි” යනුවෙන් තර්ජනය කළ බවයි. වෙනත් පුද්ගලයන් නඩුවට පටලවා ගැනීම සඳහා මෙම තර්ජනය කළ බවට ඔහු චෝදනා කළේය.

අල්ලස් කොමිසමේ පිළිතුර

මෙම චෝදනාවට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ, අධ්‍යක්ෂ ජනරාල්වරයාට විමර්ශන මෙහෙයවීමේ බලය ඇති බවත්, නව දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනවල තත්ත්වය වෙනස් වී ඇති බවත්ය. විදෙස් රටවලින් ලැබුණු නව තොරතුරු මත විමර්ශන ශක්තිමත් වී ඇති බවත්, සැකකරුට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා ඇතිවිය හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නේය. සැකකරුගේ බිරිඳ ද විමර්ශන මගහරිමින් සිටින බව මෙහිදී සඳහන් විය.

මහෙස්ත්‍රාත්වරයාගේ තීන්දුව

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තීන්දු කළේ, විමර්ශන තීරණාත්මක සන්ධිස්ථානයක පවතින බවත්, චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් රාජ්‍ය පරිපාලනයේ ඉහළ තනතුරු දැරූ අය බැවින් සැකකරුට ඇප ලබා දීමෙන් විමර්ශනවලට බාධා ඇතිවිය හැකි බවත්ය. ඒ අනුව, ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

සැකකාර කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන අයට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා නඩුව මෙම මස 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here