ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා වත්මන් ආණ්ඩුවට සහ එහි ක්‍රියාකලාපයට එරෙහිව දැඩි චෝදනා රැසක් එල්ල කළේය. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රටට ඩොලර් එවන්න එපා යැයි විදෙස් ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටි බවත්, අද ඔවුන් එම ක්‍රියාවන්හි විපාක හෙවත් “දිට්ඨධම්මවේදනීය කර්මය” භුක්ති විඳිමින් සිටින බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
ආර්ථික අර්බුදය සහ ‘දිට්ඨධම්මවේදනීය කර්මය’
වත්මන් තෙල් අර්බුදය, පෝලිම් සහ QR කේත ක්‍රමය පිළිබඳව අදහස් දක්වමින් වීරසේකර මහතා කියා සිටියේ, මෙය ලෝක අර්බුදයක් මත පැටවීමට රජය උත්සාහ කළ ද, ගෝඨාභය රාජපක්ෂ සමයේ මීට වඩා දරුණු ලෝක අර්බුදයක් වූ කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදු වූ බවයි.
“අවුරුදු දෙකක් යනකල් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ සංචාරක ව්‍යාපාරයෙන් එකදු ඩොලරයක් ආවේ නැහැ. විදෙස් ප්‍රේෂණ ලැබුණේ නැහැ. ඒත් ඒ වෙලාවේ සංචිතයේ තිබුණු සල්ලි ඔක්කොම වියදම් කරලා රටේ හැමෝටම කොරෝනා එන්නත ලබා දුන්නා. ඒ නිසා තමයි තෙල් ගන්න සල්ලි නැතිවුණේ. ඒ මදිවට, අද මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු එදා සංවිධානාත්මකව කිව්වා රටට ඩොලර් එවන්න එපා කියලා. ඒකෙන් ගෝඨාභය රජය අපහසුතාවයට පත් කළා. අද ඒ කරපු දේවල්වල විපාක තමයි මේ අයට ලැබිලා තියෙන්නේ. මේකට කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය කියලා,” යැයි ඔහු පැවසීය.
සුරේෂ් සලේගේ අත්අඩංගුවට ගැනීම – දේශපාලන කුමන්ත්‍රණයක්ද?
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක් සහ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් බවටද වීරසේකර මහතා චෝදනා කළේය.
“පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පත් කරපු ජනාධිපති කොමිෂන් 6කවත්, FBI පරීක්ෂණවලවත් සුරේෂ් සලේගේ නමක් සඳහන් වෙලා නැහැ. චැනල් 4 එකේ අසාද් මවුලානා කියන කෙනා දේශපාලන රැකවරණ පතාගෙන කිව්ව බොරුවක් තමයි මේකට මුල් වුණේ. සලේ සහරාන්ව හමුවුණා කියන කාලයේ ඔහු හිටියේ මැලේෂියාවේ සහ ඉන්දියාවේ. මේක පැහැදිලිවම ජනතාව රවට්ටන්න, කොටි පරද්දන්න ප්‍රධාන භූමිකාවක් ඉටුකළ බුද්ධි අංශ නිලධාරියෙක්ගෙන් පලිගන්න කරපු දෙයක්,” යනුවෙන් ඔහු විස්තර කළේය.
එමෙන්ම, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම පැවරිය යුත්තේ එවකට CID යේ සිටි ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න වැනි නිලධාරීන්ට බවට ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබියදී, නිර්දෝෂී නිලධාරියෙකු සිරගත කිරීම බරපතල අසාධාරණයක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වංචා සහ අකාර්යක්ෂමතාව පිළිබඳ චෝදනා
වත්මන් රජය බාල ගල් අඟුරු ගෙන්වා විශාල වංචාවක් සිදු කර ඇති බවත්, ඒ හේතුවෙන් නිසි පරිදි විදුලිය උත්පාදනය කරගත නොහැකිව ඩීසල් සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවත් හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය.
“මේ හැමදේම යුද්ධය පිට දාලා තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. විදේශ ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක කළා නම්, රුසියාව වගේ මිත්‍ර රටවල් එක්ක අනවශ්‍ය ගිවිසුම් ගැහුවේ නැත්නම් මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න තිබුණා. ජනතාවට තවත් බොරු නොකර දැන්වත් රට ගොඩනගන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න,” යැයි සරත් වීරසේකර මහතා ඉල්ලා සිටියේය.














