“වැඩ බැරි ටාසන්ලා නිසා රට පීචං වෙලා” – ආණ්ඩුවට එරෙහිව හරීන්ගෙන් දැඩි චෝදනා
පවතින ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සැර ප්‍රහාරයක් එල්ල කළා. රටේ ආර්ථික අර්බුදයට හේතුව “ලෝක යුද්ධයක්” ලෙස ජනාධිපතිවරයා පැවසීම හුදු නිදහසට කරුණක් බවත්, ආණ්ඩුවේ අදක්ෂතාව සහ වැඩපිළිවෙළක් නොමැති කම හේතුවෙන් රට ඉදිරියේදී විශාල අභියෝගයකට මුහුණ දෙනු ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
“ලෝක යුද්ධ කතා වැඩක් නෑ, මේක අසාර්ථකත්වයේ කතාවක්”
ජනාධිපතිවරයාගේ ප්‍රකාශ දැඩි උපහාසයට ලක් කළ හරීන් ප්‍රනාන්දු මහතා, “ජනාධිපතිතුමා බලයට එන්න කලින් කියපු කතාත්, ආවට පස්සේ කියන කතාත් බලනකොට දෛවයේ සරදම පේනවා. ආර්ථිකය කඩාවැටුනොත් ඒකට වගකියන්න ඕන ලෝක යුද්ධයලු. ඕන දෙයක් විශ්වාස කරන තීක්ෂණ බුද්ධියක් නැති පිරිසක් ඉන්න රටක් දියුණු වෙන්නේ නෑ,” යැයි සඳහන් කළේය.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “මේ ආණ්ඩුව හොරකම් කරලා නෑලු. ඒ වැඩක් කරලා නැති නිසා. මොවුන් යම් දෙයක් කරන්න පටන් ගත්තොත් ඒ පළවෙනි දේම නාලා තියෙනවා,” යනුවෙනි. දිට්වා කුණාටුව, නැව් පෝලිම්, ගෑස් අර්බුදය සහ ඉන්ධන සඳහා හඳුන්වා දුන් QR කේත ක්‍රමය වැනි සෑම අවස්ථාවකදීම ආණ්ඩුව අසමත් වූ බව ඔහු චෝදනා කළේය. “අපි QR කෝඩ් ගෙනත් තෙල් පෝලිම් ඉවත් කළා. අද තෙල් තියෙනවා නම්, QR එකට දෙනවා නම්, කොහොමද පෝලිම් තියෙන්නේ?” යැයි ඔහු ප්‍රශ්න කළේය.
ඉදිරියේ එන ආර්ථික කුණාටුව
ඉදිරි කාලයේදී රට බරපතළ ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙනු ඇති බවට හරීන් ප්‍රනාන්දු මහතා අනතුරු ඇඟවීය.
* විදේශ ප්‍රේෂණ අඩුවීම – ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන විදේශ ප්‍රේෂණවලින් 45%ක් ලැබෙන මැදපෙරදිග රැකියා කප්පාදුවක් සිදුවෙමින් පවතින බවත්, එය රටේ ඩොලර් ආදායමට සෘජුවම බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේය.
* සංචාරක ව්‍යාපාරයට බලපෑම් – වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන ඩුබායි වැනි සංධිස්ථාන හරහා ගමනාගමනයට බාධා පැමිණීමෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කළේය.
* ආනයන අපනයන අර්බුදය – මැදපෙරදිග යුද කලාප හරහා ගමන් කරන නෞකා සඳහා අමතර ගාස්තු අය කිරීම නිසා ආනයන වියදම් ඉහළ යනු ඇති බවත්, එමගින් මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම නොවැළැක්විය හැකි බවත් ඔහු කීය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ තේ සහ ඇඟලුම් අපනයනයටද මෙම තත්ත්වය දැඩි ලෙස බලපානු ඇතැයි ඔහු අනාවැකි පළ කළේය.
“රනිල් හිටියා නම්…”
“රනිල් හිටියා නම් මොකද වෙන්නේ කියලා අහන අයට දෙන්න තියෙන්නේ එක උත්තරයයි,” යැයි පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා, රනිල් වික්‍රමසිංහ මහතා ජනප්‍රිය නොවන නමුත් රටට අවශ්‍ය තීන්දු ගත් නායකයෙකු බව සඳහන් කළේය. “BRICS සංවිධානයට සම්බන්ධ වෙන්න රනිල් පිඹුරුපත් හැදුවේ මේ වගේ තත්ත්වයන් කලින් දැකපු නිසයි. එතකොට ඩොලර් වලින් ගනුදෙනු කරන්න ඕන නෑ. ඒත් අපේ ආණ්ඩුවට ගෙදර යන්න වුණා. දැන් වැඩ බැරි ටාසන්ලා වැඩ්ඩෝ කරපු මිනිස්සුන්ට ඉල්ලං කන්න වෙලා,” යැයි ඔහු පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු, “ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා. මෙයාට හොයා ගන්නවත් බැරි විදියට පැනලා යන්න වෙනවා. ඒක අපි කිව්වා කියලා මතක තියාගන්න. මෙහෙම පීචං වෙච්ච, චාටර් වෙච්ච ආණ්ඩුවක් අපි දැකලා නෑ,” යැයි පවසමින් සිය කතාව අවසන් කළේය.














