2025 නොවැම්බර් 28 වන දා ශ්‍රී ලංකාවට කඩා වැදුණු “දිට්වා” සුළි කුණාටුව හුදෙක් ස්වභාවික ව්‍යසනයක් පමණක් නොව, රටේ පාලන තන්ත්‍රයේ සහ ආපදා කළමනාකරණයේ කාර්යක්ෂමතාවය මැන බලන ලද තීරණාත්මක පරීක්ෂණයක් වුණා. ආර්ථික අර්බුදයකින් යන්තම් ගොඩ එමින් සිටි මොහොතක මුහුණ දීමට සිදු වූ මෙම මහා විපතින් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 23කට (ජනගහනයෙන් 10%කට) අධික පිරිසක් පීඩාවට පත් වුණා.
මෙම අතිශය කම්පන සහගත තත්ත්වය මධ්‍යයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව, ව්‍යසනයට ගොදුරු වූවන් සඳහා පෙර නොවූ විරූ මට්ටමේ වන්දි මුදල් ලබා දෙන බවට ප්‍රබල පොරොන්දු මාලාවක් ලබා දුන්න. “වහලට ගිය තහඩුවකටත් රුපියල් ලක්ෂ 5ක් දෙනවා” යන ජනප්‍රිය දේශපාලන පොරොන්දුව ජනතාව අතර විශාල බලාපොරොත්තුවක් ඇති කළා.
නමුත් මාස කිහිපයක් ගතවී තිබෙනවා. රජය විසින් රුපියල් බිලියන 500ක අති දැවැන්ත ප්‍රතිපාදන වෙන් කර තිබුණද, බොහෝ දෙනෙකුට තවමත් එම සහන ලැබී නොමැති බවටත්, ලබා දුන් චෙක්පත් පවා බැංකුවලින් මාරු කර ගැනීමට නොහැකිව ආපසු හැරී එන බවටත් රට පුරා චෝදනා එල්ල වෙමින් පවතී. මෙම ලිපියෙන් අප විමසා බලන්නේ, රජයේ පොරොන්දු ඉටු වී ඇත්ද, නැතහොත් එම පොරොන්දු නිලධාරීවාදී බාධක සහ පරිපාලන ගැටලු අතර අතරමං වී ඇත්ද යන්නයි.
දිට්වා ව්‍යසනයේ තරම – බිලියන 4.1ක විනාශයක්
“දිට්වා” සුළි කුණාටුව අසාමාන්‍ය ලෙස දිවයිනට ඉහළින් එකම ස්ථානයක වැඩි වේලාවක් රැඳී පැවතීම නිසා දින ගණනාවක් පුරා නොනවත්වා ඇද හැළුණු අධික වර්ෂාවෙන් ගංගා සහ ජලාශ පිටාර ගැලීය. දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වුවද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලට සිදු වූ විනාශය අතිමහත් විය. ලෝක බැංකු වාර්තාවකට අනුව, සිදු වූ සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් ලෙස ගණන් බලා ඇත. මෙය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%කට සමාන අගයකි.
* නිවාස 100,000කට වැඩි ගණනක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විනාශ විය.
* පුද්ගලයන් 233,000ක් ආරක්ෂිත මධ්‍යස්ථානවල රැකවරණය පැතීය.
* මරණ 649ක් තහවුරු වූ අතර, 173 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇත.
පොරොන්දුව – ලක්ෂ 50ක නිවසක් සහ වහලට ලක්ෂ 5ක්
මෙම පසුබිම තුළ ජනාධිපතිවරයා ලබා දුන් වන්දි පොරොන්දු ජනතාවට විශාල ආශ්වාදයක් විය.
* සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සඳහා – නැවත ගොඩනැගීමට රු. මිලියන 5ක්. නායයෑම් අවදානම් කලාපවල නම්, රජයේ ඉඩමක් හෝ ඉඩමක් මිලදී ගැනීමට තවත් රු. මිලියන 5ක්.
* අර්ධ හානි සඳහා – හානියේ ප්‍රමාණය අනුව තීරණය වන වන්දි මුදලක් (මෙම පොරොන්දුව “වහලට ලක්ෂ 5” ලෙස ජනගත විය).
* ක්ෂණික දීමනාව – නිවස සහ වටපිටාව පිරිසිදු කර ගැනීමට රු. 25,000ක මූලික දීමනාවක්.
යථාර්ථය – ආපසු හැරවූ චෙක්පත් සහ නිලධාරීවාදී බාධක
රජය මුදල් වෙන් කළද, එම මුදල් ජනතාව අතට පත්වීමේදී බරපතල ගැටලු මතුවී තිබෙනවා. පාර්ලිමේන්තුවේදී පවා මන්ත්‍රීවරුන් මේ පිළිබඳව ප්‍රශ්න කර තිබුණා.
ප්‍රධානතම ගැටලුව වන්නේ “ආපසු හැරවූ චෙක්පත්” පිළිබඳ අර්බුදයයි. උදාහරණයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ, වන්දි චෙක්පත් නිකුත් කර තිබුණද ඒවා මුදල් කර ගැනීමට නොහැකි විය. දිස්ත්‍රික් ලේකම්වරයා පැහැදිලි කළේ එය “දැඩි අධීක්ෂණ යාන්ත්‍රණයක්” යටතේ සිදුවන බවයි.
සරලවම කිව්වොත්, චෙක්පත ලැබුණත් මුදල් එකවර අතට ලැබෙන්නේ නැත. නිවාස හිමියා ප්‍රාදේශීය ලේකම් සමඟ ගිවිසුමකට එළඹිය යුතු අතර, නිවසේ වැඩ කොටසක් අවසන් කළ පසු නිලධාරීන් පැමිණ පරීක්ෂා කර, වැඩ නිම කළ ප්‍රමාණයට අදාළ මුදල් වාරික වශයෙන් බැංකුවෙන් නිදහස් කරයි. විගණන ගැටලුවලින් බේරීමට මෙම ක්‍රමය හඳුන්වා දුන්නද, අතේ සතයක්වත් නැති අසරණ මිනිසෙකුට වැඩ ආරම්භ කිරීමට මුදල් නොමැති විට, මෙම ක්‍රමය ඔවුන්ට සහනයක් වෙනුවට තවත් බාධකයක් වී ඇත.
ඉඩම් ඔප්පු නැති අයට වන්දිත් නෑ?
මීළඟ බරපතලම ගැටලුව වන්නේ විශාල වන්දි මුදල් ලබා දීමේදී ඉඩමේ නීත්‍යානුකූල ඔප්පුවක් ඉල්ලා සිටීමයි. ක්ෂණික දීමනාව වූ රු. 25,000 ඔප්පුවක් නොමැතිව ලබා දුන්නද, නිවසක් තැනීමට ලබා දෙන රු. මිලියන 5ක මුදල ලබා ගැනීමට ඔප්පුව අනිවාර්ය කර ඇත.
මේ නිසා වතුකරයේ ජනතාව සහ අනවසර ජනාවාසවල ජීවත් වූ අතිශය දිළිඳු ජනතාව විශාල පිරිසක් අසරණ වී සිටිති. ඔවුන්ට තම ඉඩමේ අයිතිය ඔප්පු කිරීමට නොහැකි නිසා, ඔවුන් තවමත් තාවකාලික කඳවුරුවල හෝ නෑදෑ නිවෙස්වල ජීවත් වෙමින් සිටිති. රජයේ දැඩි නීති නිසා, ව්‍යසනයෙන් වඩාත්ම පීඩාවට පත් වූවන්ටම සහන නොලැබී යාමේ ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතී.
“Rebuilding Sri Lanka” අරමුදලේ විනිවිදභාවය පිළිබඳ ගැටලු
දේශීය හා විදේශීය පරිත්‍යාග එකතු කිරීම සඳහා රජය “Rebuilding Sri Lanka” නමින් අරමුදලක් පිහිටුවන ලදී. රුපියල් බිලියන 6කට අධික මුදලක් සහ ඩොලර් මිලියන 10ක් එකතු වූ බව ප්‍රකාශ වුවද, තොරතුරු දැනගැනීමේ පනත හරහා කළ විමසීම්වලදී හෙළි වූයේ මෙම අරමුදලට නීත්‍යානුකූල තත්ත්වයක් නොතිබූ බවයි. මාස ගණනාවක් පුරා එකතු වූ බිලියන ගණනක මුදල්, නිසි පාර්ලිමේන්තු අධීක්ෂණයකින් තොරව භාණ්ඩාගාර ගිණුමක තබා ගැනීම නිසා එහි විනිවිදභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතුවී තිබෙනවා.
නිගමනය – පොරොන්දු සහ යථාර්ථය අතර පරතරය
“දිට්වා” ව්‍යසනයෙන් පසු රජය මුදල් වෙන් කිරීමේදී ඓතිහාසික පියවරක් ගෙන ඇති බව පැහැදිලිය. රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන සහ මිලියන 5ක නිවාස වන්දිය පෙර ආණ්ඩු ලබාදුන් සහනවලට වඩා බෙහෙවින් ඉහළය. එහෙත්, එම මුදල් ජනතාව අතට පත් කිරීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බව පෙනේ.
“දැඩි අධීක්ෂණය” සහ “විගණන විමසුම්වලට ඇති බිය” නිසා, රජයේ පරිපාලන යාන්ත්‍රණය ජනතාවගේ ක්ෂණික අවශ්‍යතාවලට වඩා රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දී ඇති බවක් පෙනේ. ජනාධිපතිවරයාගේ “ලක්ෂ 5” පොරොන්දුව සහ ව්‍යසනයට ගොදුරු වූවන්ගේ හිස් අත අතර ඇති පරතරය, ඉදිරියේදී විශාල සමාජ සහ දේශපාලන ගැටුමකට තුඩු දිය හැකිය.














