ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ වත්මන් රජයට එරෙහිව බරපතල චෝදනා දෙකක් එල්ල කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීම හරහා රුපියල් බිලියන 15ක “අයුතු ලාභයක්” ලැබූ බවත්, හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානී සුරේෂ් සලේ මහතා අමානුෂික ලෙස රඳවාගෙන මරා දැමීමට කුමන්ත්රණය කරන බවත් එම චෝදනා වෙනවා.
හෙළිදරව්ව 1 – “ඉන්ධන ජාවාරම සහ බිඳුණු පොරොන්දු”
විපක්ෂයේ සිටියදී ඉන්ධන බදු ඉවත් කර ජනතාවට සහන දෙන බවට පොරොන්දු වූ ජාතික ජන බලවේගයේ නායකයින්, බලයට පැමිණි පසු “සූර සරදියල්ලා” මෙන් දුන් පොරොන්දු අමතක කර ජනතාව පීඩාවට පත් කරන බවට වීරවංශ මහතා චෝදනා කළා.
එහිදී ඔහු, ජාතික ජන බලවේගයේ නායකයින් වන විජිත හේරත් සහ අනුර දිසානායක මහත්වරුන් ඉන්ධන බදු සම්බන්ධයෙන් අතීතයේ කළ ප්රකාශ ඇතුළත් හඬපට කිහිපයක්ද මාධ්ය වෙත ඉදිරිපත් කළේය.
ඔහුට අනුව, මිල ඉහළ දැමීමට පෙර රට තුළ පැවති පැරණි ඉන්ධන තොග (ලීටර් මිලියන 650ක් පමණ) නව මිලට අලෙවි කිරීමෙන් රජය සහ සමාගම් රුපියල් බිලියන 15කට අධික “හදවතක් නැති ජාවාරම්කාරී” ලාභයක් උපයා ඇත.
“එදා බද්ද අයින් කරලා තෙල් මිල අඩු කරනවා කිව්ව අය අද බද්ද තවත් වැඩිකරලා. අපි අභියෝග කරනවා, එදා කිව්වා වගේ බදු අයින් කරලා පෙන්වන්න,” යැයි වීරවංශ මහතා පැවසීය. ලෝක වෙළෙඳපොළේ මිල අඩු වන විට එහි වාසිය ජනතාවට ලබා නොදී, පැරණි තොගවලින් පවා ලාභ ලැබීම “හිරිකිත ක්රියාවක්” බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
හෙළිදරව්ව 2 – “සුරේෂ් සලේ මරා දැමීමේ කුමන්ත්රණය”
මාධ්ය හමුවේ දෙවන සහ වඩාත් බරපතල හෙළිදරව්ව සිදු කරමින් වීරවංශ මහතා කියා සිටියේ, හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී සුරේෂ් සලේ මහතා අමානුෂික ලෙස රඳවාගෙන සිටින බවයි.
“රාජ්යයේ ඇස ලෙස ක්රියා කරපු, රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු බුද්ධි ප්රධානියා අද රඳවාගෙන ඉන්නේ මීයන් ගැවසෙන, දූවිලි පිරුණු, අපිරිසිදු සිරකුටියක. ඔහුට නිදාගන්න පැදුරක්වත් නැහැ. යාබද වැසිකිළියේ ගඳ නිසා ආහාර ගන්නවත් බැරි තත්ත්වයකට පත්වෙලා,” යැයි ඔහු චෝදනා කළේය.
ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් දේශපාලන පලිගැනීමක් ලෙස මෙය සිදු කරන බවත්, මෙහි අවසාන අරමුණ සුරේෂ් සලේ මහතාව “නිරාහාරව තබා රෝගියෙක් කර මරා දැමීම” බවත් වීරවංශ මහතා පැවසීය.
“මේ පාහර වැඩේට ඉඩ දෙන්න බෑ. මේ මිනීමරු උත්සාහයට එරෙහිව අපි ඉදිරි දිනකදී රහස් පොලීසිය ගාවට එනවා. ඒ එන්නේ ආපහු යන්න නෙවෙයි, ‘නතර වෙන්න බලාගෙන’. අපි ඒ සඳහා ජනතාවටත් විවෘත ආරාධනාවක් කරනවා,” යැයි ඔහු අවසානයේ කියා සිටියේය.














