Home Flash News හෝමූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට අමෙරිකානු නාවික ආරක්ෂාව

හෝමූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට අමෙරිකානු නාවික ආරක්ෂාව

30
0
Share

මැදපෙරදිග කලාපයේ උණුසුම තවදුරටත් ඉහළ නංවමින්, ලෝකයේ වැදගත්ම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සඳහා නාවික ආරක්ෂාව සැපයීමට තම හමුදාව සූදානම් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

මීට පෙර හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගන්නා බවට ඉරානය විසින් ප්‍රකාශ කර තිබූ පසුබිමක, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඉරානයට එල්ල කළ සෘජු අභියෝගයක් ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

නාවික ආරක්ෂාව පමණක් නොව, මූල්‍ය ආරක්ෂාවක්ද

සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, මෙම නාවික ආරක්ෂාවට අමතරව, මූල්‍යමය වශයෙන්ද වෙළෙඳ සමාගම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව, ගල්ෆ් කලාපය හරහා ගමන් කරන බලශක්ති නෞකා සඳහා “දේශපාලන අවදානම් රක්ෂණයක්” (political risk insurance) සහ මූල්‍ය ආරක්ෂණ සහතික ලබා දෙන ලෙස එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාවට (U.S. International Development Finance Corporation) තමන් උපදෙස් ලබා දුන් බව ඔහු පවසනවා.

යුදමය හෝ දේශපාලනික නොසන්සුන්තා හේතුවෙන් වෙළෙඳ සමාගම්වලට සිදුවිය හැකි මූල්‍ය පාඩු අවම කිරීම මෙමගින් අපේක්ෂා කරනවා.

ගෝලීය බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීමේ ඉලක්කය

මෙම පියවර හරහා ගෝලීය බලශක්ති සැපයුම්වලට බාධාවකින් තොරව නිදහසේ ප්‍රවාහනය වීමට ඇති ඉඩකඩ වොෂින්ටනය විසින් සහතික කරනු ඇති බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ලෝකයේ සමස්ත තෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බැවින්, එම මාර්ගය අවහිර වීම ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ල කළ හැකිය. ඇමෙරිකාවේ මෙම නවතම පියවර, එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමේ අරමුණින් ගනු ලැබූවක් ලෙස සැලකිය හැකිය.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here