ඉරානයට එල්ලවන ප්‍රහාරය හෙළා දකින පෙ.ස.ප. ය, මෙය ලෝකයම අනතුරේ හෙළන සැලසුමක් බව පවසයි. ඔවුන්ගේ සම්පූර්ණ විග්‍රහය මෙතැනින් කියවන්න.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති නවතම ප්‍රහාර මාලාව, “අධිරාජ්‍යවාදී යුද්ධයේ ම්ලේච්ඡ ස්වභාවය” හෙළිදරව් කරන්නක් බව පවසමින් ශ්‍රී ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීති සහ සම්මුති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, එය ලෝකය දරුණු ව්‍යසනයක් කරා ගෙන යා හැකි බවයි.
අධිරාජ්‍යවාදී සැලසුමක් සහ නීති උල්ලංඝනය කිරීමක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන මොහොතක, කිසිදු පිළිගත හැකි සාක්ෂියකින් තොරව න්‍යෂ්ටික අවි චෝදනා නගමින් පහර දීම බරපතල තත්ත්වයක් බවයි. ඔවුන් පෙන්වා දෙන පරිදි, මෙම ප්‍රහාරය ලෝකය තුළ ගිලිහෙමින් පවතින සිය ආර්ථික සහ දේශපාලනික ආධිපත්‍යය, යුද බලය යොදා ගනිමින් රැකගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන උත්සාහයේ එක් පියවරකි.
“වැඩෙන අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධයත්, දිනෙන්දින ගිලිහී යන ආර්ථික ආධිපත්‍යය රැක ගැනීම සඳහා සිය යුද බලය අත්තනෝමතික ලෙස යොදා ගැනීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ සැලසුමත් විසින් ලෝකය ලේ ගංගාවල ගිල්වීමේ අනතුරක් උද්ගත කර තිබේ,” යනුවෙන් ඔවුන්ගේ නිවේදනයේ සඳහන් වේ. යුක්රේනය, පලස්තීනය සහ වෙනිසියුලාව වැනි රටවල සිදුවීම්ද මෙම ගෝලීය බල අරගලයේම කොටස් බව එම පක්ෂය වැඩිදුරටත් විශ්ලේෂණය කරයි.
මනුෂ්‍යත්වයට එල්ල වූ ප්‍රහාරයක්
මෙම යුද්ධයේ ම්ලේච්ඡ ස්වභාවය සංකේතවත් කරන සිදුවීමක් ලෙස, ප්‍රහාරයේ ආරම්භක මොහොතේදීම ඉරානයේ මිනාබ් හි බාලිකා පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් දැරියන් සිය ගණනක් මියයාම පිළිබඳවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය නිවේදනයෙන් අවධානය යොමු කර ඇත. ඉහළ පෙළේ දේශපාලන සහ හමුදා නායකයින් ඉලක්ක කරගත් ඝාතන ලෙස මෙම ප්‍රහාර දියත් වුවද, සිදුවන දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ දරුණු ලෙස සිවිල් ජීවිත හානි සිදුවෙමින් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.
න්‍යෂ්ටික බලවතුන් අතර මෙලෙස වර්ධනය වන යුද ආතතිය, සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම පැවැත්ම අවදානමට ලක් කරන බවද එම නිවේදනයේ දැක්වේ.
ඉරාන ජනතාව සහ අධිරාජ්‍යවාදී උගුල
ඉරාන පාලනයේ මර්දනකාරී සහ ආගමික මූලධර්මවාදී ස්වභාවය උපුටා දක්වමින් මෙම ආක්‍රමණය සාධාරණීකරණය කළ නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය තරයේ කියා සිටියි. ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ තීරණය ගත යුත්තේ ඉරාන ජනතාව විසින් බවත්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් අධිරාජ්‍යවාදී උවමනාවන් සඳහා යොදා ගැනීම හෙළා දකින බවත් පක්ෂය සඳහන් කරයි.
“අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ආක්‍රමණ හරහා කිසිදු රටක ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලැබී නැත. ඉරාකය, සිරියාව, යේමනය මෙන්ම ඉරානයද යටත් කර සිය මූලෝපායික අවශ්‍යතා ඉටුකර ගැනීමට මිස ඉරාන ජනතාවට අයිතීන් ලබාදීමට අධිරාජ්‍යවාදීන් උත්සාහ නොගනී,” යනුවෙන් ඔවුන් අනතුරු අඟවයි. මෙම ආක්‍රමණය හමුවේ ඉරානයද, කැබලි වී, දිගුකාලීන සිවිල් යුද්ධයක පැටලී, අධිරාජ්‍යවාදී රූකඩ රාජ්‍යයක් බවට පත්වීමේ ඉරණමට ගොදුරු විය හැකි බව ඔවුන්ගේ මතයයි.
ගෝලීය විරෝධයක් සඳහා වන ඉල්ලීම
මෙම තත්ත්වය තුළ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර මට්ටමේ පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පෙ.ස.ප. ය අවධාරණය කරයි. ඒ සඳහා ඔවුන් ප්‍රධාන ඉල්ලීම් තුනක් ඉදිරිපත් කරයි.
1. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වීම.
2. ඉරානයට එල්ල කරන ප්‍රහාර වහාම නතර කිරීමට බල කිරීම.
3. මැදපෙරදිග කලාපයේ ඇති ඇමරිකානු හමුදා කඳවුරු ඉවත් කිරීමට බල කිරීම.
මෙම අරමුණු වෙනුවෙන් ගොඩනැගෙන ලෝක පරිමාණ ක්‍රියාකාරීත්වය සමග එක්වන ලෙස, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රී ලංකාවේ ජනතාවගෙන්ද ඉල්ලා සිටියි.
අදාල නිවේදනය පහතින් දැක්වේ.














