හදිසි නීතිය නැවත ගෙන ඒමට රජය සූදානම්ද? ඉන්ධන පෝලිම් පාලනයට ගන්නා තීරණය කුමක්ද? සම්පූර්ණ විස්තරය මෙන්න.
රට තුළ මහජන හදිසි තත්ත්වය නැවත වරක් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව තහවුරු කළා.
“අනිවාර්යයෙන්ම සලකා බලනවා”
පෙබරවාරි 28 වනදායින් අවසන් වූ හදිසි නීතිය නැවත දීර්ඝ කිරීමක් සිදු නොවූ පසුබිමක, වත්මන් තත්ත්වය හමුවේ එය නැවත පැනවීම පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.
“අනිවාර්යයෙන්ම (හදිසි නීතිය දීර්ඝ කිරීම ගැන) සලකා බලමින් ඉන්නවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඒ සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරිපත් කරන්න තමයි කල්පනා කරන්නේ,” යනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට පිළිතුරු දෙමින් පැවසීය.
හදිසි නීතිය අහෝසි වූයේ ඇයි?
‘දිට්වා’ සුළි කුණාටුවෙන් රටට ඇති වූ ආපදා තත්ත්වයත් සමග පසුගිය කාලය පුරාවට මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණි. එම කාලසීමාව පෙබරවාරි 28 වැනිදායින් අවසන් වූ අතර එය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගත්තේ නැත.
හදිසි නීතිය අවසන් වීමත් සමගම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්යභාරය ද ඉබේම අහෝසි වී ගියේය.
වත්මන් තත්ත්වය සහ අවශ්‍යතාවය
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වයත් සමග රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි යන අනවශ්‍ය බියකින් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරයක් මේ වන විට දැකගත හැකිය.
හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම, භාණ්ඩ බෙදාහැරීම විධිමත් කිරීම සහ නීතිවිරෝධී ලෙස භාණ්ඩ ගබඩා කිරීම වැළැක්වීම වැනි කටයුතු සඳහා බලය පැවරෙන බැවින්, වත්මන් ඉන්ධන අර්බුදය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස හදිසි නීතිය නැවත ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.














