Home Flash News ලොවම සසල කරමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙති – ඉරාන නායකයා...

ලොවම සසල කරමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙති – ඉරාන නායකයා මරුට

24
0
Share

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි. මැදපෙරදිග ගිනි ගනී. ලෝක යුද්ධයක පෙරනිමිතිද? සියල්ල මෙතැනින්.

සෙනසුරාදා අලුයම, සමස්ත ලෝකයම කම්පනයට පත් කරමින්, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව “දැවැන්ත යුධ මෙහෙයුමක්” දියත් කර තිබෙනවා. ඇමරිකාව මෙම මෙහෙයුම “Epic Fury” ලෙසත්, ඊශ්‍රායලය “Lion’s Roar” ලෙසත් නම් කර ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී ඛමේනී මෙම ප්‍රහාර වලින් මිය ගිය බවයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී දින දෙකකට පසුව මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.

මෙම “කිසිදු හේතුවක් නොමැති, නීති විරෝධී” ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඉරානය ද මැදපෙරදිග පුරා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට අප දන්නා තොරතුරු මෙසේය.

ඇමරිකාව පහර දුන්නේ ඇයි?

සෙනසුරාදා ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ පිපිරීම් වාර්තා වීමෙන් ටික වේලාවකට පසු, ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ ඉරානය “ඇමරිකාව ඉලක්ක කරගත් නිමක් නැති ලේ වැගිරීම් සහ මහා මිනීමැරුම් ව්‍යාපාරයක” නිරත වන බවයි.

ඔහු තවදුරටත් තර්ක කළේ ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීමට ලබාදුන් සෑම අවස්ථාවක්ම ප්‍රතික්ෂේප කළ බවත්, යුරෝපයට, විදෙස්ගත ඇමරිකානු හමුදා භටයින්ට සහ “ඉක්මනින්ම ඇමරිකානු භූමියට” පවා තර්ජනයක් විය හැකි දිගු දුර මිසයිල නිපදවමින් සිටින බවත්ය.

1979 දී ටෙහෙරානයේ ඇමරිකානු තානාපති කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇමරිකානුවන් දුසිම් ගණනක් දින 444ක් ප්‍රාණ ඇපයේ තබා ගැනීම සහ 1983 දී බෙයිරූට්හිදී ඇමරිකානු මැරීන් භටයින් 241 දෙනෙකු මරා දැමූ බෝම්බ ප්‍රහාරය වැනි ඓතිහාසික සිදුවීම් ද ඔහු සිහිපත් කළේය.

ඉරාන නායකයා ඇත්තටම මිය ගියාද?

ඔව්.

ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කළේ උත්තරීතර නායක අයතුල්ලා අලී ඛමේනී මිය ගිය බවයි. ඔහු ඛමේනීව “ඉතිහාසයේ සිටි දුෂ්ටතම මිනිසුන්ගෙන් කෙනෙකු” ලෙසද විස්තර කළේය.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ද පසුව, 1989 සිට පාලනයේ යෙදී සිටි 86 හැවිරිදි ඛමේනීගේ මරණය තහවුරු කර දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය. මෙම ප්‍රහාරවලින් ඉරාන නිලධාරීන් 40 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවට බුද්ධි අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් CBS පුවත් සේවය වාර්තා කරයි.

මෙය ඇත්තටම යුද්ධයක්ද?

ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රහාර “දැවැන්ත යුධ මෙහෙයුම්” ලෙස විස්තර කළද, ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව යුද්ධයක් නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ බලය ඇත්තේ කොංග්‍රසයටයි. ඔවුන් තවමත් එසේ කර නැත.

කෙසේ වෙතත්, හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයාට පුළුල් බලතල ව්‍යවස්ථාවෙන්ම ලබා දී තිබේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු කොංග්‍රසය තුළද මතභේද නිර්මාණය වී ඇත. පාලක රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයින් බොහෝ දෙනෙක් ප්‍රහාරයට සහාය පළ කරන අතර, විපක්ෂ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් චෝදනා කරන්නේ ට්‍රම්ප් කොංග්‍රසයේ අනුමැතියකින් තොරව නීති විරෝධී යුද්ධයක් ආරම්භ කර ඇති බවයි.

මැදපෙරදිග තත්ත්වය සහ ජීවිත හානි

මේ වන විට ඉරානය පුරා පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව Red Crescent සංවිධානය පවසයි. දකුණු ඉරානයේ පාසලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් 108 දෙනෙකු මිය ගොස් ඇත.

ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර වලින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවරට මිසයිලයක් පතිත වීමෙන් එක් අයෙකු මිය ගොස් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

මීට අමතරව, ඇමරිකානු හමුදා කඳවුරු ඇති බහරේනය, කුවේටය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද ඉරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි එක් පුද්ගලයෙකු මිය ගිය බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

සතිය පුරාම බෝම්බ හෙලීම දිගටම සිදුවන බවට ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකිය. ඇමරිකානු හමුදා භටයින්ට කිසිදු හානියක් වාර්තා වී නොමැත.

ඇමරිකාවට සෘජු ප්‍රහාරයක් එල්ල විය හැකිද?

ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට උත්සාහ කරන බවට චෝදනා නැගුනද, ඔවුන් එය සැමවිටම ප්‍රතික්ෂේප කර ඇත. ඇමරිකානු භූමියට සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ගැන මෙතෙක් වාර්තා වී නැතත්, නිව් යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් වැනි ප්‍රධාන නගර දැඩි සීරුවෙන් තබා ඇත.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here