Home ඕපාදූප “සුජාත දියණිය” සොයා ගිය ගමන

“සුජාත දියණිය” සොයා ගිය ගමන

4
0
Share

සුජාත දියණී කතාවෙන් හිතට ආස හිතුණු කොරියානු කෑම රස බලන්න කොළඹට ආවොත් යන්නම ඕන තැනක් ගැන රසවත් සටහනක්.

ඉස්කෝලේ යන කාලයේ හවසට රූපවාහිනියේ විකාශය වූ “සුජාත දියණී” කොරියානු කතාව බලන්නට මට කොහෙන් හෝ වෙලාවක් හොයාගැනීමට හැකි විය. පහුවදා ඉස්කෝලේ ගියද අපි කළේ කතාවේ වුණ සිදුවීම් ගැන රංචු ගැසී කතා කිරීමය. තියුණු පිහියකින් එළවළු සහ මස් වර්ග එකම ප්‍රමාණයට, ඉතා සිහින්ව සහ පිළිවෙළට කපා, ඒ සියල්ල වර්ණවත් හුරුබුහුටි මැටි බඳුන්වල තැන්පත් කරමින් ඇය ආහාර පිසුවේ ඉතාමත් සන්සුන්ව, පිරිසුදුව, අමුතුම කලාවකටය. එදා රාජකීය මුළුතැන්ගෙය තුළ චංගුමීගේ දෑතින් හැදෙන වර්ණවත් භෝජන දෙස බලා සිටි මට ඒ කෑමක රස බලන්නට ඇත්නම් යන ආසාව තදින්ම දැනුණි.

එදා චංගුමී රාජකීය මුළුතැන්ගේ ආහාර පිසූ කලාවටම හරි සුන්දරව ආහාර පිසින කොරියානු මුළුතැන්ගෙයක් ලංකාවේද තිබෙන බව මට දැනගන්නට ලැබුණේ මගේ යෙහෙළිය ටීනාගෙනි. නියම කොරියානු රසයට කෑම කන්නට නම් මේ තැනට යන්නට ඕනා බව කියා මාව ඒ සඳහා උනන්දු කළේ ඇය ය. ‘සුජාතා දියණී’ කතාව අවසන් වී බොහෝ කාලයකට පසු කොරියානු කෑමක රස බලන්නට මට අවස්ථාවක් ලැබුණේ එහෙමය.

සෝල් නුවරක සුවඳ – Kang’s Kitchen අත්දැකීම

කොළඹ හත, හෝර්ටන් ප්ලේස්හී ‘Kang’s Kitchen’ නම් මේ කොරියානු කෑමහලට ගොඩවන විට දැනෙන්නේ හරි සුවපහසු හැඟීමකි. අවන්හල ඇතුළත ඇති කොරියානු සිතුවම්, අලංකාර මල් පෝච්චි සහ K-Pop කලාකරුවන්ගේ පෝස්ටර් නිසා එහි තිබුණේ අමුතුම සජීවී බවකි. එක් පසෙක රතු සහ තැඹිලි පාටින් දිදුලන විවිධ රාමේන් පැකට් ගොඩගසා තිබීමද නෙතට ප්‍රිය දසුනකි. පසුබිමින් ඇසෙන මෘදු කොරියානු සංගීතය නිසා අප සිටින්නේ සෝල් නුවර වීදියක දෝ යන හැඟීමක් මෙහිදී දැනෙයි.

එදා චංගුමී රාජකීය මුළුතැන්ගෙය තුළ දැක්වූ ඒ ආහාර පිසීමේ කාර්යශූර බව Kang’s Kitchen හිදී සජීවීව දැකගැනීමට මට අවස්ථාව ලැබිණි. මෙහි වාඩිවී සිටින විට නහයට දැනුණේ අටෝරාසියක් සුගන්ධයන්ය. ඒ අතරේ ඇසුණේ මස් වර්ග උණුසුම් තෙලේ බැදෙන විට නැගෙන චර චර හඬය. තෙල් රත් වූ තාච්චියට මස් කැබලි දමන මොහොතේ නැගෙන ඒ ශබ්දයත් සමගම වාතයට මුසු වන කුළුබඩු සුවඳ නාසයට දැනුණේ කුසගින්න තවත් අවුළවමින්ය.

රසයක කලාත්මක උපත – චීස් ටොක්බොක්කි (Cheese Tteokbokki)

මෙහි පැමිණෙන බොහෝ දෙනකුගේ ප්‍රියතම තේරීම වන්නේ චීස් ටොක්බොක්කි බව මට පෙර සිටම යෙහෙළිය පැවසූ නිසා අපි ඇණවුම් කළේ එයයි. කොරියාවේ ‘ජෝසොන්’ (Joseon) රාජවංශ සමයේදී රජවරුන් සඳහා පමණක් සීමා වූ මේ ආහාරය සකස් කිරීම කලාත්මක වැඩක් බව අපට හැඟුණේ ඇණවුම මේසයට පැමිණි පසුවය. තරමක ගැඹුරු, පළල්, සාම්ප්‍රදායික කොරියානු ලෝහමය බඳුනක තද රතු පැහැති, දිලිසෙන උකු සෝස් එකක ගිලී ඇති ඇසට හුරු නැති අමුද්‍රව්‍ය කිහිපයකට උඩින් ඝනකම් මොසරැල්ලා චීස් තට්ටුවක් දමා තිබූ ඒ පිඟාන දුටු පමණින්ම එය රස බැලීමේ දැඩි කුතුහලයකින් මම පෙළුණෙමි.

මෙම අවන්හලේ සේවකයකු පැවසූ පරිදි, චීස් ටොක්බොක්කියට එකතු කර තිබුණේ ‘ගරා-ටොක්’ ලෙස හඳුන්වන සුදු පැහැති සිලින්ඩරාකාර රයිස් කේක් සහ ‘ඊමුක්’ හෙවත් මාළු පෙති (Fish Cakes) ය. වියළි හාල්මැස්සන් සහ මුහුදු පැළෑටි තම්බා ගත් සුවඳවත් සූපයක් (Stock) සකස් කර, එය උතුරන විට කොරියාවෙන් ගෙන්වන ලද සුවිශේෂී ‘ගෝජුජැන්ග්’ මිරිස් පේස්ට්, ‘ගෝජුගාරු’ මිරිස් කුඩු සහ මීපැණි එකතු කරමින් මෙම රතු පැහැති උකු සෝස් එක සදාගනී. එයටම රයිස් කේක් සහ මාළු පෙති එක් කර, මේසයට පිළිගැන්වීමට මොහොතකට පෙර, එය මතට මොසරැල්ලා චීස් තට්ටුවක් අතුරා උඳුනක දිය කරගනී. අවසානයේ තම්බපු බිත්තරයක් තබා, සිහින්ව කැපූ ලූනු කොළ සහ තල ඇට ඉසීමෙන් එහි නියම පෙනුම සහ රසය සම්පූර්ණ කරයි.

රසයේ අභියෝගය – චොප්ස්ටික් සහ චීස් පුල්

කොරියානු කෑමවේලක නියම රසය විඳින්න නම් එය චොප්ස්ටික් (Chopsticks) වලින්ම අනුභව කළ යුතුය. Kang’s Kitchen හි මිත්‍රශීලී කාර්ය මණ්ඩලය මට එය භාවිත කරන ආකාරය ඉතා ඉවසිලිවන්තව කියා දුන්හ. චොප්ස්ටික්වලින් අල්ලා ගත් රයිස් කේක් කැබැල්ලක් උඩට ඔසවන විට දියවුණු චීස් නූල් මෙන් අඩි කිහිපයක් දිගට ඇදී ආවේය.

ටොක්බොක්කිය රස බලන විට මුලින්ම දැනෙන්නේ චීස්වල ඇති මෘදු, කිරි රසැති ගතිය ය. ඊළඟ මොහොතේදී ‘ගෝජුජැන්ග්’ සෝස් එකේ ඇති දැවෙන සැර ගතිය සහ සියුම් පැණිරස මුසුවී දිවට අමුතුම උත්තේජනයක් ලබා දෙයි. රයිස් කේක්වල ඇති මෘදු ලෙස ඇදෙනසුලු ගතිය හපන විට දැනෙන තෘප්තිමත් හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. බිත්තර කහ මදය පොඩි කර, එය රතු පැහැති සැර සෝස් එක සමග මිශ්‍ර කළ විට ලැබෙන්නේ දිව්‍යමය රසයකි.

චීස්වලට සහ කොරියානු සැර රසයට පෙම් බඳින්නකු නම්, මේ Cheese Tteokbokki පිඟාන ඔබගේ ජීවිතයේ රසවත්ම මතකයක් වනු නිසැකය. Kang’s Kitchen හි අත්දැකීම යනු හුදෙක් කුසගින්න නිවන කෑමවේලකට එහා ගිය, සංස්කෘතීන් දෙකක් යා කරන පාලමකි. සුජාත දියණී හරහා අප හදවත් තුළ ලැගුම් ගත් ඒ කොරියානු කෑම පෙළ, දුම් දමන ටොක්බොක්කි පිඟානක් සමගින් මෙහිදී සැබෑවක් වෙයි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here