Home Flash News පොප් රැජිණ බ්‍රිට්නි සංගීතයට සමුදෙයිද?

පොප් රැජිණ බ්‍රිට්නි සංගීතයට සමුදෙයිද?

11
0
Share

ලෝක සංගීත ක්ෂේත්‍රයේ “පොප් කුමරිය” (Princess of Pop) ලෙසින් කිරුළු පැළඳි බ්‍රිට්නි ස්පියර්ස්, පසුගිය දා ලොවම මවිත කළ තීරණයක් ගත්තා. ඒ, ඇයගේ සම්පූර්ණ සංගීත නිර්මාණ එකතුව, එනම් ඇගේ ගීතවල අයිතිය, වාර්තාගත මුදලකට අලෙවි කිරීමයි.

මෙම දැවැන්ත ගනුදෙනුව සිදුවී ඇත්තේ Primary Wave නම් සමාගම සමඟ වන අතර, එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 200ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6000කට ආසන්න මුදලක්) පමණ වෙතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් මෙය හුදෙක් විශාල මුදලක් අතට අත මාරු වූ ව්‍යාපාරික ගනුදෙනුවක් පමණක්ම නොවේ. බ්‍රිට්නිගේ ජීවිතයේ පසුගිය වසර කිහිපය තුළ සිදුවූ සිදුවීම් දෙස බලන විට, මෙය ඇගේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන තීරණාත්මක පියවරක් ලෙස බොහෝ දෙනා දකිනවා.

භාරකාරත්වයෙන් නිදහස සහ නව මාවතක්

වර්තමානයේ 44 වන වියේ පසුවන බ්‍රිට්නි ස්පියර්ස්, වසර 13ක් පුරා ඇගේ පියාගේ දැඩි නීතිමය භාරකාරත්වයක් (Conservatorship) යටතේ පාලනය වුණා. ඇගේ පෞද්ගලික ජීවිතයේ සිට වෘත්තීය තීරණ සහ මූල්‍ය කටයුතු දක්වා සියල්ල පාලනය වූ මෙම කාලසීමාව, ඇය විස්තර කළේ සිරගතව සිටියා හා සමාන අත්දැකීමක් ලෙසයි.

ලොව පුරා ඇගේ රසිකයන් දියත් කළ #FreeBritney ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේදී ඇයට එම භාරකාරත්වයෙන් නීත්‍යානුකූලව නිදහස ලැබුණා. එතැන් පටන් ඇය ගත කරන්නේ තමන්ගේම තීරණ මත පදනම් වූ ස්වාධීන ජීවිතයක්.

සංගීතයට සමුදීමක්ද?

මෙම පසුබිම තුළ, 2024 ජනවාරි මාසයේදී බ්‍රිට්නි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රකාශ කළේ තමන් නැවත කිසි දිනෙක සංගීත ක්ෂේත්‍රයට නොපැමිණෙන බවයි. “මම නැවත සංගීත ක්ෂේත්‍රයට එන්නේ නෑ!!! මම කැමති අන් අයට ගීත ලියන්න විතරයි” යනුවෙන් ඇය එහිදී සඳහන් කර තිබුණා.

ඇයගේ මෙම ප්‍රකාශයෙන් ටික කලකට පසුව, ඇගේ දශක ගණනාවක සංගීත දිවියේ සියලුම නිර්මාණවල අයිතිය මෙලෙස විකුණා දැමීම, ඇය සැබවින්ම සංගීත ක්ෂේත්‍රයට සමුදීමට සූදානම් වන බවට කෙරෙන තවත් එක් තහවුරු කිරීමක් ලෙස විචාරකයන් පෙන්වා දෙනවා.

“Baby One More Time”, “Toxic”, “Oops!… I Did It Again” වැනි ලොවම වසගකර ගත් ගීත රැසක අයිතිය දැන් ඇය සතු නොවීම, ඇගේ රසිකයන්ට කණගාටුදායක ආරංචියක් වුවත්, බොහෝ දෙනා මෙය දකින්නේ ඇයට පීඩාකාරී වූ ක්ෂේත්‍රයකින් මිදී, තමන්ට අවශ්‍ය පරිදි නිදහසේ ජීවත් වීමට ඇය ගත් තීරණයක් ලෙසයි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here