Home පිටිය ක්‍රිකට් ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි තරගයෙන් ඉන්දියාවට විශිෂ්ට ජයක්

ක්‍රිකට් ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි තරගයෙන් ඉන්දියාවට විශිෂ්ට ජයක්

11
0
Share

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත්, ක්‍රිකට් ලෝලීන් හුස්ම නොහෙලා බලා සිටි ඉන්දියා – පකිස්තාන මහා තරගයෙන් ලකුණු 61ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය, ඉන්දීය පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ ඉහළ දක්ෂතා විදහා දැක්වුවා.

තරගය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක, ICC සභාපති ජේ ෂා සහ පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි ද ක්‍රීඩාංගණයට පැමිණ සිටීම විශේෂත්වයක් වුණා. ක්‍රීඩාංගණය මෙන්ම කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම දැවැන්ත තිර සවිකර මෙම තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියා.

කිෂාන්ගේ ගිගුරුමෙන් ගොඩනැගුණු ඉන්දීය ඉනිම

කාසියේ වාසිය දිනූ පකිස්තාන නායක සල්මාන් අලි අගාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට යහපත් ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය. ආබාධයකින් පසු නැවත කණ්ඩායමට පැමිණි ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා, පළමු පන්දුවාරයේදීම ලකුණු නොලබා දැවී ගියා.

නමුත් අනෙක් පසින් පිටියට පිවිසි ඉෂාන් කිෂාන්, පකිස්තාන පන්දු යවන්නන්ට නිර්දය ලෙස පහර දෙමින් ගිනිගත් ඉනිමක් දියත් කළේය. පන්දු 27කින් සිය අර්ධ ශතකය වාර්තා කළ ඔහු, පන්දු 40කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 77ක් රැස් කළා. තිලක් වර්මා (25) සමඟ එක්ව ඔහු ගොඩනැගූ ලකුණු 87ක සබඳතාව ඉන්දීය ඉනිමේ කොඳු නාරටිය වුණා.

මැදපෙළ පිතිකරුවන් වූ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු නොලබා දැවී ගියද, නායක සූර්යකුමාර් යාදව් (32) සහ ශිවම් ඩුබේ ඉනිම ස්ථාවර කලා. අවසන් මොහොතේ පිටියට පිවිසි රින්කු සිං පන්දු 4කින් නොදැවී ලකුණු 11ක් රැස් කිරීමත් සමඟ, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට ඉන්දියාව සමත් විය. පන්දු යැවීමේදී සයිම් අයුබ් කඩුලු 3ක් දවා ගත්තා.

සුන් වූ පකිස්තාන බලාපොරොත්තු

ලකුණු 176ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමේ බලාපොරොත්තු පළමු පන්දුවාර දෙකේදීම සුන් වුණා. හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රිට් බුම්රාගේ ප්‍රහාර හමුවේ ෂහීබ්සාදා ෆර්හාන් (0), සයිම් අයුබ් (6) සහ නායක සල්මන් අලි අගා (4) දැවී යන විට ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 13කට කඩුලු 3ක් ලෙසිනි.

පළපුරුදු ක්‍රීඩක බාබර් අසාම් ද ලකුණු 5කට දැවී යාමත් සමඟ පකිස්තානය දැඩි අසීරු තත්ත්වයකට පත්විය. උස්මාන් ඛාන් පන්දු 34කදී ලකුණු 44ක් රැස් කරමින් යම් සටනක් දීමට උත්සාහ කළද, ඉන්දීය දඟ පන්දු යවන්නන් හමුවේ අනෙක් පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවීය.

වරුන් චක්‍රවර්ති, හර්දික් පාණ්ඩ්‍යා, ජස්ප්‍රිට් බුම්රා සහ අක්සාර් පටෙල් කඩුලු දෙක බැගින් දවා ගනිමින් පකිස්තාන ඉනිම පන්දුවාර 18කදී ලකුණු 114කට සීමා කළා.

තරගයේ වීරයා සම්මානය ඉන්දීය ඉනිමට ශක්තිමත් අඩිතාලමක් දැමූ ඉෂාන් කිෂාන්ට හිමිවිය.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here