ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ නාමයක් දිනා සිටින ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය (NSBM), මෑතකදී සිදු වූ එහි ව්‍යුහාත්මක වෙනසක් හේතුවෙන් දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ (NIBM) පූර්ණ හිමිකාරිත්වය යටතේ පැවති මෙම ආයතනය, “ඇපයෙන් සීමිත සමාගමක්” (Guarantee Limited Company) බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තුළ බරපතල අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විශේෂ වාර්තාවකින් හෙළි කරනවා.
NSBM හි ආරම්භය සහ වර්ධනය
2011 වසරේ ඔක්තෝබර් 07 වන දින NSBM ආයතනය ස්ථාපිත කරන ලද්දේ NIBM ආයතනයේ රුපියල් මිලියන 800 ක පූර්ණ ප්‍රාග්ධන දායකත්වය සහිත පරිපාලිත සමාගමක් වශයෙනි. විශ්වවිද්‍යාල වරම් අහිමි වන දක්ෂ දූ දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම මෙහි මූලික අරමුණ වුණා. 2018 සිට 2023 දක්වා කාලය තුළ සිසුන් 18,000කට අධික පිරිසක් බඳවා ගනිමින් සහ රුපියල් බිලියන 14.6ක් දක්වා වත්කම් වර්ධනය කරගනිමින් මෙය ඉතා සාර්ථක රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වී තිබුණා.
විගණනයෙන් මතු වූ ප්‍රධාන අක්‍රමිකතා
මෙතරම් සාර්ථකව පවත්වාගෙන ගිය රාජ්‍ය වත්කමක් ඇපයෙන් සීමිත සමාගමක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව විගණකාධිපතිවරයා ප්‍රශ්න කිහිපයක් මතු කරනවා.
අමාත්‍යාංශ ඇගයීමක් නොමැති වීම – NSBM හි ව්‍යුහාත්මක වෙනසක් සිදු කිරීමට අදාළ ඉල්ලීම උපකුලපතිවරයා විසින් සිදු කර තිබුණද, ඒ පිළිබඳව විධිමත් තාර්කික හෝ මූල්‍යමය ඇගයීමක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කර නොතිබූ බව විගණනයේදී නිරීක්ෂණය වුණා.
ප්‍රාග්ධනය ආපසු ගෙවීමේ ගැටලුව – NIBM ආයතනය විසින් මුලින් ආයෝජනය කරන ලද රුපියල් මිලියන 800 ක මුදල, භාණ්ඩාගාර බැඳුම්කර පොලී අනුපාත යටතේ වසර 5ක් ඇතුළත ආපසු ගෙවීමේ යෝජනාව විගණනය විසින් භේදාත්මක (Controversial) ලෙස හඳුන්වා දී තිබෙනවා.
විගණන අයිතිය අභියෝගයට – ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) වගන්තියට අනුව, ඇපයෙන් සීමිත සමාගම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට ඇති බලය සීමා වන අතර මෙය රාජ්‍ය මූල්‍ය පාලනයෙන් බැහැර වීමක් ලෙස දැකිය හැකි වෙනවා.
ණය වගකීම් – භාණ්ඩාගාර ඇපවීම මත ලංකා බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 8.6 ක දැවැන්ත ණය මුදලක් පවතින පසුබිමක මෙවැනි වෙනසක් සිදු කිරීම රජයේ මූල්‍ය අවදානම ඉහළ නැංවීමකි.
නව පාලන ව්‍යුහය සහ ගැටලු
නව නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් (ගැරන්ටි) ලිම්ටඩ් සමාගම සඳහා උපකුලපතිවරයා යාවජීව සාමාජිකයෙකු ලෙස පත් කිරීමට යෝජනා වී තිබීම විශේෂත්වයකි. එසේම, මෙම නව ව්‍යුහය යටතේ රජයට ඇති මැදිහත් වීමේ හැකියාව සහ සීමාවන් පිළිබඳව නිසි අධ්‍යයනයක් කර නොමැති වීම තවත් බරපතල අඩුවකි.
විගණන නිර්දේශ
මෙම තත්ත්වය හමුවේ විගණන වාර්තාව මගින් අවධාරණය කරන්නේ රාජ්‍ය මූල්‍ය හා වත්කම් ආරක්ෂා වන පරිදි මෙවැනි ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු විය යුතු බවයි. විශේෂයෙන්ම, විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට ඇති බාධා ඉවත් කිරීමත්, NIBM සහ රජය සතු හිමිකාරිත්වය තහවුරු වන පරිදි කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා.
මෙම සිදුවීම හරහා පෙනී යන්නේ රාජ්‍ය ආයතනයක් සාර්ථක වූ පමණින් එහි ස්වෛරීභාවය වෙනස් කිරීමේදී ඉතා පරීක්ෂාකාරී විය යුතු බවයි. මහජන මුදල් හා දේපළ සම්බන්ධයෙන් පාරදෘශ්‍යභාවය ආරක්ෂා කිරීම ඕනෑම රජයක වගකීමකි.











