Home දේශීය පුවත් ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධිය වර්ගවාදයක්ද? නීතිය අවභාවිත කිරීමක්ද?

ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධිය වර්ගවාදයක්ද? නීතිය අවභාවිත කිරීමක්ද?

16
0
Share

බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් ගිහි පුද්ගලයන් හය දෙනෙක්, මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කිරීමෙන් පසු ඇප මත නිදහස් වූ පුවත පසුගියදා වාර්තා වුණා. ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් මුල් කරගෙන ඇතිවූ මෙම සිදුවීම, බැලූ බැල්මට ආගමික ගැටුමක් ලෙස පෙනුනද, එහි අභ්‍යන්තරය ඊට වඩා බොහෝ සංකීර්ණයි. එය, නීතිය, දේශපාලනය සහ පොලිස් බලය පිළිබඳව බරපතළ ප්‍රශ්න රැසක් මතු කරන කතාවක්.

මෙහිදී පොලිසිය ක්‍රියාත්මක කළ ආකාරය ගැන මහානාහිමිවරුන්ගේ සිට මානව හිමිකම් සංවිධාන දක්වා බොහෝ පාර්ශ්ව දැඩි විරෝධයක් පළ කළා. ඔවුන්ව මෙතරම් කලක් රිමාන්ඩ් භාරයේ තැබීමට පොලිසිය යොදාගත්තේ, මහේස්ත්‍රාත්වරයෙකුට පහසුවෙන් ඇප දිය නොහැකි, “වෙරළ සංරක්ෂණ පනත” වීම ඊට ප්‍රධාන හේතුවයි. මෙය, නීතිය දඬුවමක් ලෙස භාවිතා කිරීමක් බවට චෝදනා එල්ල වෙනවා. ඇත්තටම ත්‍රිකුණාමලයේ සිදුවුණේ කුමක්ද? මේ ගැටුම පිටුපස ඇති නොකියූ කතාව කුමක්ද? Seylan News අපි ඒ ගැන ගැඹුරින් විමසා බලමු.

ගැටුමේ හදවත – “ජූස් බාර්” එක සහ දේශපාලන ගැටුම

බොහෝ දෙනා නොදන්නා කරුණ නම්, මේ සිදුවීමේ මූලාරම්භය බුදු පිළිමයක් නොව, “පලතුරු බීම හලක්” හෙවත් ජූස් බාර් එකක් වීමයි. 2004 සුනාමියෙන් විනාශ වූ, 1950 දශකයේ සිට පැවත එන ඓතිහාසික සම්බුද්ධ ජයන්ති විහාරය නැවත ගොඩනැගීමට වත්මන් විහාරාධිපති හිමියන් මුදල් නොමැතිව දැඩි අපහසුතාවයකින් සිටියා. ආදායමක් ලෙස, විහාරස්ථානයේ දියුණුවට යොදවන පොරොන්දුව මත, තාවකාලිකව ඉවත් කරන පදනම යටතේ පලතුරු බීම හලක් ඉදිකිරීමට විහාර භූමියේ ඉඩ ලබා දී තිබුණා.

නමුත්, එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිනියකගේ ඥාතියෙකුට මෙය ලබා දීම, වත්මන් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන ඇතුළු පිරිසකගේ දැඩි විරෝධයට හේතු වූ බවට චෝදනා එල්ල වෙනවා. මේ අනුව, දේශපාලන පක්ෂ අතර ඇතිවූ ගැටුමක් ලෙස මෙය වර්ධනය වුණා. අවසානයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉදිකිරීම ඉවත් කරන ලෙස නියෝග කළ අතර, විහාරාධිපති හිමියන් එයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගත්තේ මේ පසුබිම තුළයි.

ගැටුම ඇවිළුණු ඒ රාත්‍රිය

මේ මතභේදය මැද, පසුගිය නොවැම්බර් 16 වන දින විහාර භූමියේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කෙරුණා. එදින රාත්‍රියේම, “ඉහළින් ආ නියෝගයක්” මත ක්‍රියාත්මක වූ පොලිසිය, පිළිම වහන්සේ ඉවත් කිරීමට පැමිණියා. එහිදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර, පොලිසිය පිළිමයට ඉහළින් තිබූ “මුතු කුඩය” කඩා එයින්ම ස්වාමීන් වහන්සේ නමකට පහර දුන් බවට බරපතළ චෝදනාවක් එල්ල වුණා. මෙම පහරදීම නිසා භික්ෂූන් වහන්සේලා කිහිප නමක් රෝහල් ගත කිරීමට පවා සිදුවුණා.

නීතිය ආයුධයක් කළාද? පුපුරන සුලු චෝදනාව

පහරදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට, පොලිසිය කළේ පහර කෑ භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස අත්අඩංගුවට ගෙන, ඇප ලබා ගැනීමට ඉතා අපහසු වෙරළ සංරක්ෂණ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමයි.

මෙහිදී සැකකාර පාර්ශ්වයේ නීතිඥයින් හෙළිකරන්නේ තවත් බරපතළ කතාවක්. එනම්, පොලිසියට එරෙහිව ගොනු කර ඇති මානව හිමිකම් නඩු ඉල්ලා අස්කරගන්නේ නම්, වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇති චෝදනා ඉවත් කරගැනීමට පොලිසිය සූදානම් බවට ඔවුන්ට බලපෑම් කර ඇති බවයි. “පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ, තමන් උපාසක ලීලාවෙන් කටයුතු කළ බව හඟවා, පහරදීම ගැන කිසිවක් සඳහන් කර නැහැ. රටේ ඉහළ අධිකරණයක ඇති මානව හිමිකම් නඩු ඉවත් කරගන්නා ලෙස පොලිසියට බලපෑම් කළ හැකිද?” යැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ප්‍රශ්න කරනවා.

වර්ගවාදී ලේබලය පිටුපස සත්‍යය

මෙම සිදුවීම දෙමළ සහ මුස්ලිම් ජනතාවට එරෙහි වර්ගවාදී ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළත්, නීතිඥවරුන් අවධාරණය කරන්නේ, මේ පිටුපස කිසිදු දෙමළ හෝ මුස්ලිම් වැසියෙක් නොසිටින බවයි. 2005දී ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා සමග ඇතිවූ වාද විවාද මධ්‍යයේ වුවද, තම මව සමග කළුතර බෝධිය වැඳ පුදාගත් බව ඔහු පැවසූ ආකාරය, අතීතයේ පැවති ආගමික සහජීවනයට හොඳ උදාහරණයක්. එනිසා මෙය, හුදෙක් “ජූස් බාර් විරෝධයක්” සහ දේශපාලන අරගලයක්, පොලිසියේ ක්‍රියාකලාපය නිසා උඩුදුවා ගිය සිදුවීමක් මිස වර්ගවාදී ගැටුමක් නොවන බව පැහැදිලියි.

“නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ” යන පැරණි කියමන, “නඩුත් පොලිසියේ, බඩුත් පොලිසියේ” ලෙස වෙනස් විය යුතු කාලයක් දැයි මේ සිදුවීම අපෙන් ප්‍රශ්න කරයි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here