Home ව්‍යාපාරික ලෝකය තැපෑලට අලුත් පණක්

තැපෑලට අලුත් පණක්

18
0
Share

වර්තමානයේ නව පිබිදීමක් ලබමින් නවීකරණය වන ශ්‍රී ලංකා තැපැල් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් දැවැන්ත ව්‍යාපෘතියක් ඊයේ (12) දිනයේ ආරම්භ වුණා. එහිදී රුපියල් මිලියන 590කට අධික වටිනාකමකින් යුතු ලොරි රථ 10ක් සහ කෲ කැබ් රථ 20ක් තැපැල් ප්‍රවාහන ජාලයට එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

තැපැල් මූලස්ථානයේදී පැවති මෙම උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ද එක්ව සිටියා.

වාහන විතරක් නෙවෙයි, තාක්ෂණයත් අලුත් වෙයි

මෙම වැඩසටහන හුදෙක් වාහන ලබා දීමකට පමණක් සීමා වන්නේ නැහැ. එය මෙරට තැපැල් සේවාව පුරා දිවෙන පුළුල් නවීකරණ වැඩසටහනක එක් පියවරක් පමණයි.

ඊට සමගාමීව,

* තැපැල්කරුවන්ගේ රාජකාරි පහසු කිරීම සඳහා යතුරුපැදිවලට සවි කරන විශේෂ බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදා දීම.

* නව මෙහෙයුම් පාලන ප්‍රතිචාර ඒකකයක් විවෘත කිරීම.

* තැපැල් කාර්යාලවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක මෙන්ම ටැබ් යන්ත්‍ර ලබා දීම.

යන වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරුණා.

මීට අමතරව, තැපැල් මූලස්ථානය, මධ්‍යම තැපැල් හුවමාරුව සහ මඩකලපුව තැපැල් කාර්යාලය සඳහා සූර්ය පැනල පද්ධති සවි කිරීමට ද නියමිතයි. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 849ක්.

“තැපෑල වහන්නේ නෑ, දියුණු කරනවා” – අමාත්‍යවරයා පවසයි

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකා තැපෑල පසුගිය වසරේදී රුපියල් මිලියන 13,450ක ආදායමක් උපයා ඇති බව සඳහන් කළා.

“තැපැල් දෙපාර්තමේන්තුව මුහුණ දුන් ඇතැම් ආපදා තත්ත්වයන් නොවන්නට මීට වඩා ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබුණා. කෙසේ වෙතත්, මේ වසරේදී අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා,” යැයි අමාත්‍යවරයා පැවසුවා.

තැපැල් සේවාවට අවශ්‍ය නව බඳවා ගැනීම් සහ සේවක ස්ථිර කිරීම් හරහා 2800ක කාර්ය මණ්ඩලයක් ස්ථාවර කිරීමට පියවර ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළා.

මෑතකදී තැපැල් ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමූ විට ඇතිවූ විවේචන සිහිපත් කළ අමාත්‍යවරයා, “තැපෑලේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ, තැපෑල තව තවත් භාවිත කරන ලෙසයි. එමගින් ආදායම ඉහළ නංවා ගන්න පුළුවන්. අපි කවදාවත් තැපෑල වහන්නේ නෑ. මේ පහසුකම් ලබා දෙන්නේ තැපෑලේ අනාගතය දියුණු කරන්නයි,” යනුවෙන් අවධාරණය කළා.

2025 අයවැය ප්‍රතිපාදන යටතේ ලබාදෙන මෙම නව වාහන, මුළු දිවයිනම ආවරණය වන පරිදි COD (Cash on Delivery), SLP Courier ඇතුළු සියලුම තැපැල් භාණ්ඩ වඩාත් කාර්යක්ෂමව බෙදා හැරීම සඳහා යොදා ගැනීමට නියමිතයි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here