බොහෝ ශ්‍රී ලාංකික ගෙවල්වල අයවැය කළමනාකරණය කරන්නේ ගෘහණියයි. සැමියා මුදල් උපයන විට, එළවළු, හාල් පොල් වල සිට දරුවන්ගේ පන්ති ගාස්තු දක්වා සියලු වියදම් දරා, ඉතිරියක්ද කිරීමට ඇය දරණ වෙහෙස අපමණය. ඇය, මුදල් ඇමතිවරයෙකුටත් වඩා දක්ෂ ලෙස එම ගෙදර ආර්ථිකය කළමනාකරණය කරනු ලබනවා.
ජාතික මට්ටමින් ගත් කළ, මේ කාර්යභාරය පැවරී ඇත්තේ ජාතික විගණන කාර්යාලයටයි. රජයේ ආදායම් සහ වියදම් සිදුවන්නේ කෙසේදැයි සොයා බලන මෙම ආයතනයේ ප්‍රධානියා වන විගණකාධිපතිවරයා, රටේ මුදල් පසුම්බියේ සැබෑ භාරකරුය. දැන්, ගෙදර වියදම්වල බලය මෙන්ම, මුළු රටේම වියදම් ගැන සොයා බැලීමේ බලයද කාන්තාවකට හිමිවී තිබෙනවා.
වසර 227ක පිරිමි බලකොටුවක් බිඳ වැටෙයි
1799 දී බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධුරය, වසර 227ක් පුරා හෙබවූයේ පිරිමින් විසින් පමණි. නමුත් එම ඉතිහාසය දැන් වෙනස් වී ඇත. ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපතිවරිය ලෙසත්, එම ධුරයට පත් ප්‍රථම කාන්තාව ලෙසත් සමුදිකා ජයරත්න මහත්මිය පත් වීමත් සමගය.
මෙම පත්වීම පසුපස මෑත කාලීන දේශපාලන උණුසුමක්ද පැවතිණි. හිටපු විගණකාධිපති චූලරත්න වික්‍රමරත්න මහතා මාස කිහිපයකට පෙර විශ්‍රාම ගැනීමත් සමග, නව පත්වීමක් සඳහා ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අතර “සීතල යුද්ධයක්” හටගෙන තිබිණි. ජනාධිපතිවරයා විසින් යෝජනා කළ නම් කිහිපයක්ම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කළ අතර, අවසානයේදී දෙපාර්ශවයේම එකඟතාවයෙන් සමුදිකා ජයරත්න මහත්මියගේ නම තහවුරු වුණා.
විගණකාධිපති පුටුවේ බලය සහ ඉතිහාසය
විගණකාධිපති තනතුර යනු හුදු රාජ්‍ය නිලධාරී තනතුරක් නොවේ. එය ස්වාධීන, බලසම්පන්න ව්‍යවස්ථාපිත තනතුරකි. විනිසුරුවරයෙකු සේ ස්වාධීනව කටයුතු කරන විගණකාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් මිස ධුරයෙන් පහ කළ නොහැකිය. ඔහු හෝ ඇය වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණි.
මෙම ධුරයේ ඉතිහාසය බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා දිව යයි. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ ප්‍රථම ශ්‍රී ලාංකික විගණකාධිපතිවරයා ලෙස පත් වූයේ, නිදහස් ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා බවටද පත් වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාය. එතැන් පටන් විගණකාධිපතිවරයා බ්‍රිතාන්‍ය කිරීටයට නොව, ලංකාවේ ව්‍යවස්ථාදායකයට වගකීමට බැඳී සිටියේය.
කවුද මේ සමුදිකා ජයරත්න?
ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක වැනි දැවැන්තයන් දැරූ මෙම ධුරයට පත් සමුදිකා ජයරත්න මහත්මිය, මෙම තනතුරට පිටතින් පැමිණි අයෙක් නොවේ. ඇය දශක දෙකකට වැඩි කාලයක් ජාතික විගණන කාර්යාලයේ සේවය කළ, එහි ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විගණකාධිපතිවරිය ලෙස කටයුතු කළ පළපුරුදු නිලධාරිනියකි.
කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධියක් සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගෙන ඇත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරියකද වන ඇය, විගණකාධිපති ධුරය සඳහා වන මූලික සුදුසුකමද සපුරා තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව වැනි ජාතික වැදගත්කමක් ඇති විමර්ශන රැසකට ඇය සිය දායකත්වය ලබා දී ඇත.
නව නායිකාවගේ දැක්ම සහ අභියෝගය
සිය පත්වීමෙන් පසු නිලධාරීන් අමතමින් ඇය දැඩි ස්ථාවරයක සිටින බවට ඉඟි පළ කළාය. “මා වෙත පැවරී ඇති වගකීම ඉටු කිරීමට බාධා කරන සියලු දෙනා සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට මා පසුබට වන්නේ නැහැ,” යැයි ඇය අවධාරණය කළා.
පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් නිසා දෙපාර්තමේන්තුවට අහිමි වූ ගෞරවය නැවත ගොඩනැගීමට ධෛර්යවන්තව පියවර තබන බවත්, පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් සහාය දීමේ යාන්ත්‍රණය නව මුහුණුවරකින් ශක්තිමත් කරන බවත් ඇය පැවසුවාය. “මම හැමවිටම සතුටින් ජීවත්වන කෙනෙක්. ඒ වගේම ඔය හැමදෙනාමත් මාත් එක්ක ඉන්න ඕනෙ. අපි සියලු දෙනාටම සතුටින් ඉන්න පුළුවන්, එක න්‍යාය පත්‍රයකට ගන්න පුළුවන් තැනකට යන්න සූදානම් වෙමු,” යනුවෙන් ඇය සිය කතාවේදී සඳහන් කළා.
වසර 227ක ඉතිහාසය වෙනස් කරමින්, දේශපාලන බලපෑම්වලට නොනැමෙන බවට ප්‍රතිඥා දෙමින්, රටේ මුදල් පසුම්බියේ භාරකාරත්වය සමුදිකා ජයරත්න මහත්මිය භාරගෙන ඇත. ඇයගේ ඉදිරි ගමන ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය විනය සහ යහපාලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරනු ඇත.











