Home Flash News ජපානයේ මිලියන 103ක් ජනතාව අද ඡන්ද පොළට

ජපානයේ මිලියන 103ක් ජනතාව අද ඡන්ද පොළට

11
0
Share

ජපානයේ මහ මැතිවරණය අද (08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර, මිලියන 103කට අධික ඡන්දදායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. රට පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි සංඛ්‍යාවකදී මෙම ඡන්ද විමසීම සිදු කරනවා.

මෙම මැතිවරණය ජපානයේ වත්මන් අග්‍රාමාත්‍යවරිය වන සනයි තකයිචිගේ දේශපාලන අනාගතය තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.

තකයිචිගේ සන්ධානයට වැඩි වාසියක්

නවතම මත විමසුම් වාර්තා වලට අනුව, අග්‍රාමාත්‍ය සනයි තකයිචිගේ නායකත්වයෙන් යුතු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Liberal Democratic Party) සහ ඔවුන්ගේ සන්ධානගත පාර්ශ්වය වන ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය (Japan Innovation Party) මෙම මැතිවරණයේදී ඉදිරියෙන් පසුවෙනවා. මෙම සන්ධානයට පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකිවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරනවා.

ඉතිහාසය වෙනස් කළ අගමැතිණිය

සනයි තකයිචි ජපාන දේශපාලන ඉතිහාසයේ විශේෂ සටහනක් තැබුවේ එරට ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වෙමිනි. පසුගිය ඔක්තෝබර් මාසයේදී, එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු පාලන කාලයකින් පසු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග තකයිචිට මෙම ඓතිහාසික අවස්ථාව හිමි වුණා.

පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් තහවුරු කරගනිමින් ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර, එම ධුරයට පත්වී මාස තුනක් ගතවීමෙන් අනතුරුව, ජනතා වරමක් අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇය කටයුතු කළා.

අද පැවැත්වෙන මෙම හදිසි මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව, ජපානයේ ප්‍රථම අගමැතිණිය ලෙස තම බලය සහ ජනතා කැමැත්ත තහවුරු කරගැනීමට සනයි තකයිචිට හැකිවේද යන්න පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here